Sunday, May 5, 2024

General line - 0115112241

ළිං කුහරයකට වැටුණු මොරොක්කෝවේ දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් අවසන් අදියරට




දින 04 ක් පුරා නළ ළිං කුහරයක් තුළ සිරවී සිටින වයස අවුරුදු 05 ක කුඩා පිරිමි දරුවෙකු මුදා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණ්ඩායම් දියත් කළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. විදෙස් වාර්තා පැවසුවේ ඉකුත් අගහරුවාදා රාත්‍රියේදී එම දරුවා මීටර් 32 ක් පමණ ගැඹුරු එම ළිං කුහරයේ පතුලට ඇද වැටී ඇති බවයි. 

දරුවාගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුම් මොරොක්කෝවේ සහ විදෙස් රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දරුවා බේරාගැනීමේ මෙහෙයුම් සිදුකරන ස්ථානය වෙත විශාල පිරිසක් ද පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. මේ වන විට සිදුකර ඇති කැණීම් හමුවේ නායයෑමක් සිදුවීමේ අවධානමක් මතුව ඇති අතර මේ හේතුවෙන් මෙම මුදා ගැනීමේ මෙහෙයුම් අවධානම් වී ඇති බවයි වාර්තා වන්නේ. 

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් දරුවා සිරවී ඇති ළිඳ ආසන්නයෙන් දැවැන්ත අගලක් කපා ඇති අතර  ඒ ඔස්සේ දරුවා සිටින ස්ථානය ආසන්නයට සහන කණ්ඩායම ළගා වෙමින් ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා. 

දරුවා මුදා ගැනීමෙන් අනතුරුව ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍ය කණ්ඩායමක් ද එම ස්ථානයේ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දරුවාට අවශ්‍ය ඔක්සිජන් හා ජලය නළ මාර්ගයෙන් සපයන අතර කඹයක් ඔස්සේ ළිං කුහරය තුළට යොමු කර ඇති කැමරාවක් මගින් ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කෙරෙනවා. 

දරුවා මුදාගත් සැනින් ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද එම ස්ථානයේ රැඳී සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.