Sunday, May 5, 2024

General line - 0115112241

ගෝලීය කොරෝනා ආසාදිතයින් කෝටි 40 ඉක්මවයි - සෞඛ්‍ය රෙගුලාසි වලට එරෙහිව රටවල් කිහිපයක විරෝධතා




ලොව රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 40 සීමාව ඉක්මවා ගියා. ඒ, ඊයේ දිනයේදී ලොව රටවලින් තවත් කොරෝනා ආසාදිතයින් විසිහතර ලක්ෂ 21, 648 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. 

ඒ අනුව මේ දක්වා ලොව රටවලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් කෝටි හත් ලක්ෂ 92, 765 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවලින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව පනස්හත් ලක්ෂ 82, 786 ක්. 
ගතවු පැය 24 දී ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වුණේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව දෙලක්ෂ 35, 267 ක්. ජර්මනියෙන් ද කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 12,000 කට අධික පිරිසක් හඳුනාගෙන තිබෙනවා. 

මේ අතර ලොව රටවලින් තවදුරටත් වාර්තා ගත ලෙස කොරෝනා ආසාදිතයින් හඳුනා ගනිමින් ඇති පසුබිමක් තුළ රටවල් කිහිපයකම කොරෝනා රෙගුලාසිවලට එරෙහිව ප්‍රබල මහජන විරෝධතා ක්‍රියාත්මකයි. 

ඒ අතරින් මේවනවිට මහජන විරෝධතා දරුණු ලෙස පවතින්නේ කැනඩාවේයි. කොරෝනා මර්දන එන්නත් ලබාගැනීම අනිවාර්යය කිරීම ඇතුළු තවත් රෙගුලාසි කිහිපයකට විරෝධය පළ කරමින් මෙම විරෝධතා මාලාව ක්‍රියාත්මකයි. විරෝධතාවට එක්ව සිටි පුද්ගලයින් 80 දෙනෙකු පමණ කැනේඩියානු පොලීසිය විසින් අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මේ අතර කොරෝනා රෙගුලාසිවලට එරෙහිව නවසීලන්තයේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ද මහජන විරෝධතා ක්‍රියාත්මකයි. වෙලිංටන් අගනුවර මාර්ග අවහිර කරමින් විරෝධතාකරුවන් එම විරෝධතාවල නිරත වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සුළු පිරිසක් විසින් මෙහෙයවන විරෝධතා, රටේ සමස්ථ බහුතර ප්‍රජාව නියෝජනය කිරීමක් නොවන බවයි විරෝධතාකරුවන් නොසලකා හරිමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් පවසා ඇත්තේ.