Sunday, May 5, 2024

General line - 0115112241

යුක්‍රේනයට බර අවි ප්‍රහාරයක් : තවත් දරුණු ප්‍රහාරයක් ගැන අමෙරිකාව අනතුරු අඟවයි (PHOTOS)




ඉදිරි දින කිහිපය තුලදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇති බවට තමන්ට පැවසිය හැකි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කර සිටිනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඔහු අද මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චෝදනා කර සිටියේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරිම සඳහා ඔවුන් විසින්ම අනෙක් පාර්ශවයට වරද පටවමින් ප්‍රහාර දියත් කිරිමට ඉඩකඩ පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ මෙම ආක්‍රමණය සඳහා මුලික අඩිතාලම යොදා ගැනීම වෙනුවෙන් රුසියාව විසින් රසායනික අවි ප්‍රහාරයක් වුවද එල්ල කිරිමට ඉඩකඩ පවතින බවයි.

රුසියාවේ යුද සැලැස්ම සම්බන්ධයෙන් අමෙරිකාවට මනා අවබෝධයක් පවතින බව පැවසූ රාජ්‍ය ලේකම්වරයා වහාම යුක්‍රේන දේශ සීමාවෙන් සිය හමුදා ඉවත් කර ගැනීමට රුසියාව පියවර ගත යුතු බවද කියා සිටියා.

" රුසියාව තුල එල්ලවන ත්‍රස්ත ප්‍රහාරයක්, සමුහ මිනිවලක් සොයා ගැනීම, සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගනිමින් එල්ලකරන ඩ්‍රෝන ප්‍රහාරයක් හෝ රසායනික අවි ප්‍රහාරයක්" වැනි දේ තුලින් රුසියාව සිය යුක්‍රේන ආක්‍රමණය සඳහා වන සාධාරණිය කරණයන් ඇති කර ගැනීමට රුසියාව මාන බලමින් සිටින බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා චෝදනා කර සිටින්නේ.

මේ අතර රුසියාව විසින් අමෙරිකාව එල්ල කරනු ලබන සියළු චෝදනා ප්‍රතික්ෂේප කර සිටිනවා. 

රුසියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ අමෙරිකාව සිදුකරන චෝදනා කිසිදු පදනමකින් තොර බවයි.

මේ අතර ඊයේ දිනයේදී රුසියාවට පක්ෂපාතිත්වය දක්වන සන්නද්ධ කණ්ඩායම් විසින් නැගෙනහිර යුක්‍රේනයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ස්ථාන කිහිපයක් ඉලක්ක කරමින් කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාරය එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එම ප්‍රහාරය එල්ල වී තිබුනේ ප්‍රාථමික පාසැල් ගොඩනැගිල්ලකට වන අතර ඉන් පාසැලේ ගුරුවරුන් තිදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

මෙම තත්ත්වය මත කුමන මොහොතක හෝ යුද ගැටුම් ඇතිවීමේ අවදානමක් ඉස්මතු වෙමින් පවතින බවයි යුද විශ්ලේෂකයින් අනතුරු අඟවා සිටින්නේ.