Sunday, May 5, 2024

General line - 0115112241

ළිං කුහරයේ සිරව සිටි "හයිදර්" මියයයි 




දින 03 ක කාලයක් ළිං කුහරයක සිරවී සිටි 05 හැවිරිදි ඇෆ්ගනිස්ථාන දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට තලෙයිබාන් පාලකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

දකුණු දිග ඇෆ්ගනිස්ථානයේ පිහිටි සාබුල් ප්‍රාන්තයේ පිහිටි ගම්මානයක ළිං කුහරයකට ඉකුත් අඟහරුවාදා ඇද වැටුණු මෙම දරුවා බේරා ගැනීමට සහන සේවකයින් මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

හයිදර් නම් වූ මෙම දරුවා ළිං කුහරයට වැටී සිටින අයුරු නිරීක්ෂණය කිරිමට කැමරාවක් යොමු කොට තිබුණා.

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ දරුවාගේ ශරීරයේ ඉනෙන් ඉහළ කොටස පමණක් චලනය කිරීමට හැකි අයුරින් ඔහු ළිං කුහරය තුල සිරවී සිටින බවයි.

දරුවා සිරවී සිටින ළිඳේ ගැඹුර අඩි 82ක් පමණ බවත් ඔහු රැඳී සිටින්නේ පොලොව මට්ටමේ සිට අඩි 32ක් පමණ ගැඹුරින් බැවින් මුදා ගැනීමේ කටයුතු සිදුකිරීමේ කැනීම් කටයුතු ඉතා කල්පනාවෙන් සහ ප්‍රවේශමෙන් කළ යුතුව ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයෙන් මෙම ඛේදනීය සිදුවීම වාර්තා වන්නේ මිට සති දෙකකට පමණ ඉහතදී ලොවපුරා අවධානය යොමුවූ රයන් නම් කුඩා දරුවෙකු මොරොක්කෝවේ ග්‍රාමීය ප්‍රදේශයේ පිහිටි අඩි 104ක ගැඹුරකින් යුත් ළිං කුහරයක දින 04ක් සිරවී සිට අවසන් හුස්ම හෙලීමේ සිදුවීමෙන් පසුවයි.