Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා රෙගුලාසිවලට එරෙහි උද්ඝෝෂකයින් මර්දනයට පොලිසිය යෙදවීමෙන් කැනඩාව උණුසුම්




කැනඩාවේ ඔටාවා අගනුවර පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණ මාලාව නිමා කිරීමට එරට පොලීසිය මැදිහත්ව තිබෙනවා. ඒ අනුව උද්ඝෝෂකයින්ට අගනුවරින් ඉවත් වන ලෙසටයි පොලීසිය විසින් දැනුම් දී ඇත්තේ. එම දැනුම්දීම නොතකා තවදුරටත් විරෝධතාවයේ යෙදී සිටින පිරිස පොලීසිය මගින් අත්අඩංගුවට ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව මේවනවිටත් උද්ඝෝෂකයින් 70 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය උත්සහ දැරීමේදී දෙපාර්ශවය අතර ගැටුම් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

විරෝධතාකරුවන් විසින් කුඩා දරුවන් ද විරෝධතා පැවැත්වෙන ස්ථානවලට රැගෙනවිත් ඇති බවත්, එලෙස රැගෙනවිත් ඇති දරුවන් පලිහක් සේ යොදා ගෙන කටයුතු කරන බවටත් කැනේඩියානු පොලීසිය විරෝධතාකරුවන්ට චෝදනා කළා. කෙසේවෙතත් විරෝධතාකරුවන් පවසන්නේ විරෝධතා කිරිම සිය අයිතිවාසිකමක් බැවින් රජයේ බලපෑම් හමුවේ පසු නොබසින බවයි. 

කැනඩාවේ ඔටාවා අගනුවර ක්‍රියාත්මක එම මහජන විරෝධතා ආරම්භ වී මේවනවිට සති 03 කට අධික කාලයක් ගතව තිබෙනවා. කොරෝනා මර්දන එන්නත්කරණය අනිවාර්යය කිරීම සහ තවත් සෞඛ්‍ය රෙගුලාසි කිහිපයකට විරෝධය දක්වමිනුයි කැනේඩියානුවන් එලෙස විරෝධතාවයේ යෙදී සිටින්නේ. විරෝධතාකරුවන් මාර්ග අවහිර කිරිම හේතුවෙන් අගනුවර තුළ දැඩි රථවාහන තදබදයක් හටගත් අතර භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ට්‍රක් රථ ද මාර්ගය තුල සිරවී තිබුණා.