Sunday, May 5, 2024

General line - 0115112241

අමෙරිකාවේ අනාවැකිය හරි යයි : රුසියාව න්‍යෂ්ටික පෙරහුරුවක් අරඹයි




මිට දින කිහිපයකට පෙර අමෙරිකාව පැවසූ ආකාරයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අද දිනයේදී න්‍යෂ්ටික මිසයිල පෙරහුරු අභ්‍යාසයක් සිදුකිරීමට සිය හමුදාවන් වෙත නියෝග ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

මෙම සිදුවීමත් සමග අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ප්‍රකාශ කළ ආකාරයට රුසියාව ඉදිරි දින කිහිපය තුලදී යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම් ආරම්භ කරනු ඇති බවට යුද විශ්ලේෂකයින් අනතුරු අඟවා සිටිනවා.

පැරණි සෝවියට් සමුහාණ්ඩුව සහ අමෙරිකාව අතර ඇතිවූ "ශිත යුද්ධයෙන්" පසුව ඇතිවිය හැකි දරුණුම යුද්ධයක පෙර නිමිති මේ වන විට මතුවෙමින් ඇති බවයි බටහිර රටවල ජනතාව බිය පළකර සිටින්නේ.

අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ රුසියානු හමුදාව මේ වන විට යුක්‍රේන දේශසීමාව ආසන්නයටම පැමිණ ස්ථාන ගතවීමට පටන් ගෙන ඇති බවයි.

මේ අතර රුසියාවට සහය දක්වන යුක්‍රේන බෙදුම්වාදී හමුදා නායකයා විසින් රුසියානු-යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ ජිවත්වන ලක්ෂ 07කට ආසන්න ජනතාවට වහාම රුසියාවට යන ලෙස නියෝග නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. එම බෙදුම්වාදී නායකයා පවසන්නේ යුක්‍රේන හමුදාවන් කුමන මොහොතක හෝ ප්‍රහාර එල්ල කිරීමට හැකි බැවින් ජීවිතාරක්ෂාව පතා රුසියාව බලා යෑම සුදුසු බවයි.

මේ අතර නැගෙහිර යුක්‍රේන දේශ සිමාවේ ස්ථාන රැසකට පසුගිය දින කිහිපය පුරා මෙම බෙදුම්වාදී හමුදා කණ්ඩායම විසින් බර අවි ප්‍රහාර එල්ල කර ඇති බවට යුක්‍රේන හමුදාව චෝදනා කර සිටිනවා. 

රුසියානු ජනාධිපතිවරයාට යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය කරුණක් මතුකර ගැනීම සඳහා මෙම බෙදුම්වාදී හමුදා කණ්ඩායම කටයුතු කරන බවයි යුක්‍රේන රජය සඳහන් කර සිටින්නේ.