Sunday, May 5, 2024

General line - 0115112241

රුසියාවට සම්බාධක පනවන්නේ ප්‍රහාරයකින් පසුවදැයි යුක්රේනය ලෝක බලවතුන්ගෙන් විමසයි




යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශය තුළ මේවනවිට  දරුණු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එම වාර්තාවල දැක්වෙන්නේ යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයට අයත් ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ප්‍රදේශවලින් පිපිරුම් හඬවල් ඇසෙන බවයි. ඊයේ දිනයේදී පමණක් එම ප්‍රදේශ තුළ පිපිරීම් 1500 ක් පමණ සිදුව ඇතැයි යුරෝපානු නිරීක්ෂකයින් ප්‍රකාශ කළා. 

යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එලෙස එල්ල වන්නේ ශෙල් ප්‍රහාර බවට ද වාර්තා වනවා. 

යුක්රේනයට අයත් ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවල බලය අත්පත් කර ගෙන සිටින රුසියානු හිතවාදී කැරලිකරුවන් හා යුක්රේන රජයේ හමුදාවන් අතරගැටුම් වර්ධනය වී ඇති බව හා එහි ප්‍රථිපලයක් ලෙස දෙපාර්ශවයෙන් ශෙල් ප්‍රහාර එල්ල කෙරෙන බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් නැගෙනහිර කලාපයෙන් වාර්තා වන එම පිපිරීම් මොනවාද යන්න සම්බන්ධයෙන් යුක්රේන රජය හෝ රුසියානු හිතවාදී කැරලිකාර කණ්ඩායම් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

කෙසේවෙතත් යුක්රේන හමුදාවෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇති බව පවසා ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවලින් ලක්ෂ 07 ක පමණ සිවිල් වැසියන් පිරිසක් ඉවත් කරමින් සිටින බවයි රුසියානු හිතවාදී කැරලිකරුවන් පවසන්නේ.

මේ අතර ඉතා ඉක්මනින් රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට අමෙරිකාව ප්‍රධාන බටහිර බලවතුන් මෙන්ම නේටෝ සංවිධානය ද යළි යළිත් චෝදනා කරනවා.

යුක්රේනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජර්මනියේ මියුනිච් නුවරදී අමරිකාවේ ප්‍රධානත්වයෙන් විශේෂ ආරක්ෂක සමුළුවක් ද පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එහිදී අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් සමග සාකච්ඡා කිරීම සඳහා යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ද මියුනිච් නුවරට පැමිණ තිබෙනවා. කෙසේවෙතත් මෙවැනි අවස්ථාවක රටින් පිට නොවන ලෙස බටහිර රටවල් කළ ඉල්ලීමක් ද ඉවත දමමින් යුක්රේන ජනාධිපතිවරයා මියුනිච් නුවරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී යුක්රේන ජනාධිපතිවරයා බටහිර බලවතුන්ගෙන් විමසා ඇත්තේ රුසියාවට සම්බාධක පැනවීමට බලාසිටින්නේ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුවද යන්නයි. 

යුද්ධයක් ඇතිවී යුක්රේනය විනාශ වූ පසු රුසියාවට එරෙහි සම්බාධක වලින් ඵලක් නොමැති බවයි යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි බටහිර බලවතුන් හමුවේ අවධාරණය කර ඇත්තේ. 

යුක්රේනයට එරෙහිව සිදුකරන ක්‍රියාකාරකම් හමුවේ රුසියාවට එරෙහිව නව සම්බාධක පනවන බවට අමෙරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන් ප්‍රකාශ කර තිබුණත් මෙතෙක් එලෙස කිසිඳු සම්බාධකයක් පනවා නැහැ.