Sunday, May 5, 2024

General line - 0115112241

යුක්රේන ආක්‍රමණයට රුසියානු හමුදාවට අණ ලැබී අවසන් : අමෙරිකා බුද්ධි අංශ




යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියානු විශේෂ බලකායට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් නියෝග ලබාදී ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව CBS පුවත් සේවය වාර්තා කර සිටිනවා.

යුක්රේනය ඉලක්ක කර ගනිමින් සිදුකරනු ලබන ආක්‍රමණය සඳහා වන අවසන් සැලසුම මේ වන විට රුසියානු විශේෂ බලකාය සකස් කරමින් සිටින බවට අමෙරිකානු බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇති බව සඳහන්.

"යුක්රේනයට එරෙහි හමුදා ආක්‍රමණයක් එල්ල කිරිමට පෙර සයිබර් ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවත් , ඒ සමගම මිසයිල සහ ගුවන් ප්‍රහාර සමග ගොඩබිමින් හමුදා ආක්‍රමණයක් සිදුකිරිමට ඉඩ ඇති" බවයි යුද විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ.

මේ අතර යුක්රේනය ආසන්නයේ මේ වන විට රුසියානු හමුදාවෙන් සීයයට 75ක ප්‍රමානයක් ස්ථාන ගත කර ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ විසින් අනාවරණය කර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

රුසියාවට සහය දක්වන යුක්රේන බෙදුම්වාදී කැරලිකරුවන් ද ඇතුළුව දළ වශයෙන් 190,000ක රුසියානු හමුදා සාමාජිකයින් මේ වන විට යුක්රේනය අවට ස්ථාන ගත කර සිටින බවයි අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කර සිටින්නේ.

මෙම හමුදා භට පිරිස් ස්ථාන ගත කර සිටින ස්ථානයන් සහ යුක්රේන දේශ සීමාව අතර වන දුර ප්‍රමාණය සැසදීමේදී කුමන මොහොතක හෝ ඔවුන් ආක්‍රමණයකට සුදානම් බවයි අමෙරිකානු බුද්ධි අංශ උපකල්පනය කර සිටින්නේ.

රුසියානු ගුවන් සංග්‍රාමික බලකායේ සීයයට 35-50ත් අතර භට පිරිස් සහ 75% සෙසු බල සේනාංක මෙලෙස යුක්රේනය අසල ස්ථානගත කර ඇති බවයි අමෙරිකාව පවසන්නේ.

මිට අමතරව රුසියානු ප්‍රහාරක ජෙට් යානා 500ක් සහ අර්ධ ප්‍රහාරක සහ බෝම්බ හෙලෙන ගුවන් යානා 50ක් ද ස්ථාන ගත කර ඇති බව සඳහන්.

මේ අතර යුක්රේන තත්වය සම්බන්ධයෙන් එම්මානුවෙල් මැක්‍රොන්  සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර විශේෂ සාකච්ජාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.