Wednesday, May 1, 2024

General line - 0115112241

ප්‍රියන්ත කුමාරගෙන් නොනැවතුණු පකිස්තානයේ ඝාතන සංස්කෘතිය




පාකිස්තානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් 2018 වසරේ අගෝස්තු මාසයේදී බලයට පැමිණියේ දහසකුත් එකක් බලාපොරොත්තු පාකිස්තාන වැසියන්ට ලබා දෙමින්. 

කෙසේවෙතත් මේ වන විට පාකිස්තානය ආර්ථික,දේශපාලන,සාමාජයීය හා සංස්කෘතික යන සිව්වැදෑරුම් අංශයන්ගෙන්ම දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති අතර එරට ජනතාවට සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගැනීම පවා අසීරු වී තිබෙනවා. 

ආගමික මතවාදයන් හේතුකොට ගෙන එරට තුල නිර්මාණය වී ඇති ප්‍රචණ්ඩකාරී තත්ත්වය ද මේ අතරතුර සමස්ථ ලෝකයේ දැඩි පිළිකුලට හේතුවී තිබෙනවා. 

ආගම දඩමීමා කර ගනිමින් ශ්‍රී ලාංකිකයෙකු මහමග අමු අමුවේ මරාදැමීමෙන් සිය කෲරත්වය ලොවටම පෙන්වූ පාකිස්තානුවන් එහි උණුසුම මැකීයාමටත් මත්තෙන් තවත් කෲර ඝාතනයක් සිදුකර ඇත්තේ ඊට එරෙහිව ඉම්රාන් ඛාන් පාලනය ගෙන ඇති උදාසීන ක්‍රියාමාර්ග නිසාද යන්න ගැටලුවක්. 

ශුද්ධ වූ කුරානයේ පිටු පුළුස්සා දැමීමේ චෝදනාව මත පෙබරවාරි 12 සෙනසුරාදා පකිස්ථානයේදී පුද්ගලයෙකු  කෲර ලෙස මරා දැමීමේ සිදුවීම වාර්තා වන්නේ පන්ජාබ් පළාතේ ඛානේවාල් දිස්ත්‍රික්කයේ ජන්ගල් ඩේරා ගම්මානයෙන්. 

එහි ජීවත් වූ, මුහම්මද් මුෂ්ටාක් නම් මැදි වියේ පසුවූ පුද්ගලයෙකු පාකිස්තාන ආගමික අන්තවාදයේ නවතම ගොදුර බවට පත්ව තිබෙනවා. 

ඔහුගේ පවුලේ අය පවසන්නේ ඔහු මානසික සෞඛ්‍ය ගැටලු රැසකින් පෙළුණු පුද්ගලයෙක් බවයි. 

නිදන්ගත භින්නෝන්මාදයෙන් පෙළෙන මුෂ්ටාක් තම බිරිඳ සහ දරුවන් දෙදෙනා අතහැර ජීවත් වූ අයෙක්  වූ අතර ඇතැම් වාර්තා වල සදහන් වුනේ ඔහුගේ සහෝදර සහෝදරියන් වසර 17ක් තිස්සේ ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා ඔවුන්ගේ ගොවිබිම් පවා විකුණා ඇති බවයි 

පෙබරවාරි 12 වන දින, ඔහුගේ උපන් ග්‍රාමීය දිස්ත්‍රික්කය වන ඛානේවාල් හි , ප්‍රාදේශීය යාඥා නායකයෙකුගේ පුත්‍රයා මුස්ලිම් ශුද්ධ ග්‍රන්ථය වන කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට ඔහුට චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව කෝපයට පත් පිරිසක් විසින් ඔහුට පහර දී තිබෙනවා. 

"ගමේ වැසියන් බැටන් සහ යකඩ පොලුවලින් සන්නද්ධව පැමිණ ඔහුට පහර දුන්නා,
පසුව ප්‍රදේශවාසීන් සිය ගණනක් රැස්ව ඔහුව ගසක එල්ලා පසුව ඔහු මිය යන තුරුම ගඩොල්වලින් පහර දුන්නා යනුවෙන් ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙකු වන මුනාවර් හුසේන් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා. 

මැර පිරිස කෙතරම් ප්‍රබලව සිටියේද පැහැදිලි වන්නේ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට සිහිසුන්ව ගසක බැඳ සිටි මුෂ්තාක් බේරා ගැනීමට එම පොලිස් නිලධාරීන් පිරිසට නොහැකි වීම හේතුවෙන්. 

පාකිස්තාන මාධ්‍ය වාර්තා අනුව සැකකාර පුද්ගලයා තමන් නිර්දෝෂී බව දිගින් දිගටම ප්‍රහාර හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. 

පසුව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 80කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ දේහය ඔහුගේ පවුලේ අයට භාරදීමට පොලිසිය කටයුතු කර තිබුණා. 

මෙම සිද්ධියෙන් අනතුරුවත් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සුපුරුදු ලෙස පැවසුවේ, "ඕනෑම අයෙකු නීතිය අතට ගන්නේ නම් තම රජය කිසිඳු ඉවසීමකින් තොරව  ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවයි. 

ඝාතන සිදු කළ අපරාධකරුවන්ට සහ ඔවුන්ගේ රාජකාරිය පැහැර හරින ලද පොලිසියට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් පන්ජාබ් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවත් අගමැති ඉම්රාන් ඛාන් සදහන් කර තිබෙනවා. 

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කෝ ඉන්ඩස්ට්රීස් නමැති කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරීවරයකු ලෙස සේවය කළ  ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පහර දී ඝාතනය කර, පුළුස්සා මරා දැමීමේ සිදුවීමේදීත් ඔහු මෙවැනිම ප්‍රකාශයක් කලේ යලි මෙවැනි සිදුවීම ඇති වීමට ඉඩ නොදෙන බවට අවධාරණය කරමින්. 

එම අවාසනාවන්ත සිද්ධිය, පාකිස්තානයට කළු පැල්ලමක් වූ බව රහසක් නොවන අතර නව සිදුවීම හරහා එය දෙගුණ තෙගුණ වනවා. 

ආගමට අපහාස කළ බවටත් දෙවියන්ට අපහාස කළ බවටත් චෝදනා නගමින්, කර්මාන්තශාලාවේ සේවකයන් ඇතුළුව සිය ගණනක් දියවඩන මහතාට ද මිලේච්ඡ ලෙස මියයනතුරු පහර දී ගිනි තබා ඝාතනය කල අතර සියල්කොට් පොලිසිය එවක පැවසුවේ අත්අඩංගුවට පත් පිරිස අතරට මෙම සිදුවීම් පෙළ විඩියෝ කළ පුද්ගලයන් ද ඇතුළත් බවයි. 

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සියල්කොට් හි අලාමා ඉක්බාල් ශික්ෂණ රෝහලේ දී පැවැත්වුණු අතර ඔහුගේ සිරුර සියයට 90 කට වඩා පිළිස්සී ඇති බවත්, ඔහුට කළ වදහිංසා හේතුවෙන් සිරුරේ අස්ථි කිහිපයක් බිඳී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග එවක පවසා තිබුණේ පාකිස්තාන ආගමික අන්තවාදයේ ඇති භයානකත්වය ලොවට පසක් කරමින්. 

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාට පහර දී ඝාතනය කර, සිරුර පුළුස්සා දැමීම කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ 'තරීක් ඊ ලබ්බයික් පාකිස්තාන්' Tehreek-e-Labbaik Pakistan නමැති දේශපාලන කණ්ඩායමටයි.
කෙසේ වෙතත් තවදුරටත් එම සංවිධානය පිලිබදව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ ඉම්රාන් ඛාන් පාලනය අසමත් වී තිබෙනවා. 

පාකිස්තාන ඉම්රාන් ඛාන් පාලනය විහිලු සපයන බව පැහැදිලි වන එක් කරුණක් වුණේ සියල්කොට් හි දී ප්‍රචණ්ඩකාරී මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද ශ්‍රී ලංකා කළමනාකරු ප්‍රියන්ත කුමාර ඝාතනය පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා විසින් එම වකවානුවේ දී සාධාරණීකරණය කර තිබීම හේතුවෙන්. 

එරට ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක් කියා සිටියේ, තරුණ ළමයින් කරන එවැනි දේවල් නරක යැයි පැවසිය නොහැකි බවයි. 

එය ඉම්රාන් ඛාන් පාලනය වක්‍රාකාරයෙන් ආගමික අන්තවාදීන්ට උදව් සැපයීමක් සිදු කරන්නේද යන්න පිළිබඳ ලෝකයට සැක සංකා මතු කිරීමට ප්‍රභල හේතුවක් වුණා. 

මේ අතර 1947 වසරේ සිට පාකිස්තානය තුළ ආගමික අපහාස සිද්ධීන් (blasphemy) 1,415 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් . 

එම වාර්තාවට අනුව, 1947 සිට 2021 දක්වා අපහාස කිරීම හේතුවෙන් කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමින් 71 දෙනෙකු අධිකරණයෙන් පරිබාහිර ලෙස ඝාතනය කර තිබෙනවා. 

කෙසේ වෙතත් සියලුම සිද්ධීන් වාර්තා නොවන බැවින් සැබෑ සංඛ්‍යාලේඛන ඊට වඩා වැඩිවිය හැකි බවත් චූදිතයන්ගෙන් සියයට 70 කට වඩා වාර්තා වී ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයෙන් බවත් අදාල වාර්තාවල සඳහන්. 

පාකිස්ථානයේ දේව අපහාසය පිලිබඳ විවාදය වන්නේ "ඉස්ලාම් ධර්මයට අගෞරව කරන පුද්ගලයින්ට දඬුවම් කළ යුතුද" නැතහොත් "පුද්ගලික ගැටලු විසඳාගැනීම සඳහා මිනිසුන්ට බොරු චෝදනා එල්ල කරන්නේද" යන්නයි. 

පසුගියදා නිකුත් කෙරුණු 2022 ලෝක වාර්තාවේ හියුමන් රයිට්ස් වොච් (HRW) පකිස්ථානයේ සිවිල් නිදහස පිළිබඳ අඳුරු චිත්‍රයක් ලොවට හෙළි කළ අතර එහි දැක්වුනේ වධහිංසා පැමිණවීම් සහ අනෙකුත් බරපතල අපයෝජනයන් සම්බන්ධයෙන් පාකිස්තාන නීතිය ක්‍රියාත්මක කරන ආයතන  දිගින් දිගටම ක්‍රියාත්මක වන්නේ අල්ප වශයෙන් බවයි. 

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ ආගමික සුළුතරයන් ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාරවලින් බොහෝ පිරිසක් මියගොස් ඇතැයි එම  වාර්තාව පෙන්වා දෙනවා. 

මේ අතර මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇස්තමේන්තු කරන්නේ සෑම වසරකම "ඊනියා ගෞරවනීය" ඝාතනවලින් කාන්තාවන් 1,000 ක් පමණ ඝාතනය වන බවයි