Monday, April 29, 2024

General line - 0115112241

රුසියානු ජනපතිට එරෙහිව සම්බාධක පැනවෙයි : නේටෝ සංවිධානයත් හදිසි තීරණයක් ගනියි




රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ප්‍රථම වතාවට නේටෝ සංවිධානය විසින් සිය " හදිසි ප්‍රතිචාර බලකාය" ආරක්ෂක පියවරක් ලෙස සක්‍රීය කිරීමට තීරණය කර තිබෙනවා.

නේටෝ මිත්‍ර හමුදාවේ හමුදාපති ජෙනරාල් ටොඩ් වෝල්ටර්ස් නේටෝ සන්ධානයට සහය දැක්වීම සඳහා ඉක්මනින් යෙදවිය හැකි මිත්‍ර පාක්ෂිකයින්ගෙන් ගොඩබිම, ගුවන, මුහුද සහ විශේෂ මෙහෙයුම් බලකායන්ගෙන් සමන්විත මෙම සන්ධාන බලකාය සක්‍රීය කිරීමට අද නියෝග නිකුත් කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

නේටෝ සංවිධානයේ හදිසි ප්‍රතිචාර බලකාය සක්‍රීය කිරීමෙන් අදහස් කරන්නේ අමෙරිකානු හෝ නේටෝ හමුදාව මෙතෙක් සිය සන්ධානයේ සාමාජිකයෙකු නොවන යුක්රේනයට භට පිරිස් පිටත් කර හැරීමක් නොවන බවයි එම සංවිධානය සඳහන් කරන්නේ. 

රුසියාවේ ආක්‍රමණශීලී ක්‍රියා සම්බන්ධයෙන් නේටෝ සංවිධානයට අයත් නැගෙනහිර යුරෝපයේ රටවල් කලබලයට පත්ව සිටින බැවින් සිය අමතර හමුදා භට පිරිස් එම කලාපයට පිටත් කර හැරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් උපදෙස් ලබාදී තිබුණා.

මේ අතර වහාම සටන් නතර කොට යුක්රේන පාලන ප්‍රදේශවලින් ඉවත්වෙන ලෙස නේටෝ සංවිධානය විසින් රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත අද දැනුම් දී සිටියා. ඔවුන් සඳහන් කර සිටියේ පවතින ගැටලුව විසඳා ගැනීම සඳහා යුදමය ක්‍රියාවන් ගෙන් තොරව සාකච්ජා මාර්ගයට පිවිසීම වැදගත් බවයි.

මේ අතර යුරෝපා සංගමය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඔහුගේ ආරක්ෂක අමාත්‍යවරයා වන සර්ජි ලැව්රොව් සිය සම්බාධක ලැයිස්තුවට ඇතුලත් කිරීමට අද පියවර ගෙන තිබෙනවා,

යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් පියවර ගැනීම හේතුවෙන් මෙලෙස ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කළ බවයි යුරෝපා සංගමයේ දේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ සංගමයේ ඉහළ නියෝජිත ජෝසෙප් බොරෙල් සඳහන් කර් සිටියේ.

මිට පෙර යුරෝපා සංගමය විසින් රාජ්‍ය නායකයින් දෙදෙනෙකු වන සිරියාවේ ජනාධිපති අසාද් සහ බෙලාරුසියානු ජනාධිපති ලුකෂෙන්කෝ සිය සම්බාධක ලැයිස්තුවට නම් කර තිබු අතර රුසියානු ජනාධිපතිවරයා එහි තුන්වන රාජ්‍ය නායකයා බවට පත්ව තිබෙනවා.

මේ අතර අමෙරිකාව ද විසින් ඉදිරි පැය කිහිපයේදී රුසියානු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ රජයේ ඉහළ පෙලේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනවීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.