Monday, May 6, 2024

General line - 0115112241

නැව ආවත් ඩීසල් ගොඩබෑමට කාලගුණයත් හරස් වන ලකුණු




ඩීසල් මෙට්ට්‍රික් ටොන් 37,300 ක් රැගෙන මෙරටට ලගාවී ඇති නෞකාවේ ඉන්ධන තොග ගොඩබෑම අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එම ඩීසල් තොගය ගොඩබෑමට නියමිතව ඇත්තේ මුතුරාජවෙල ඛණිජතෙල් තොග ගබඩා සංකීර්ණයටයි. කෙසේවෙතත් දිවයින ආශ්‍රිතව පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඩීසල් ගොඩබෑමට යම් බාධාවක් මතුවේදැයි මේවනවිට සැක මතුව තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද හෙට සහ අනිද්දා දිනවල නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

මේ හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින්විට රළුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ. එලෙස මුහුදු ප්‍රදේශ රළුවීමේ තත්ත්වයක් පැවතිය හොත් ඉන්ධන ගොඩබෑම ප්‍රමාදවීමට ඉඩකඩක් පවතිනවා. 

ඛණිජ තෙල් සංස්ථාන සතුව මේවනවිට පවතින්නේ දිනකට ප්‍රමාණවත් ඩීසල් තොගයක් බවටයි එම සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කළේ. යම් හෙයකින් මුතුරාජවෙල ගබඩා සංකීර්ණයට අද දිනයේ ඩීසල් ගොඩබෑමට නොහැකිවුවහොත් රට තුළ ඩීසල් හිගයක් මතුවීමේ අවදානමක් ද පවතින බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.