Monday, May 6, 2024

General line - 0115112241

බස් ධාවනය හෙට සිට ඇණ හිටින ලකුණු




පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවුනහොත් හෙට දිනය වන විට පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ ඇන හිටීමේ තත්ත්වයක් පවතින බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඊයේ දිනය වන විට සමස්ථ පෞද්ගලික බස් රථ ප්‍රමාණයෙන් අඩක් පමණ ධාවනය නොවූ බවයි. 

සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ ඩීසල් හිගය හේතුවෙන් අද දිනයේ කෙටි දූර බස් රථ ධාවනයේ සැලකිය යුතු අඩුවක් ඇති විය හැකි බවයි. 

ලංගම ඩිපෝවලට අයත් පිරවුම්හල් මගින් හෝ පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන්  ඊයේ දිනයේදී ඇනවූම් කළ බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

එම ඉන්ධන තොග ලැබුණු වහාම පෞද්ගලික බස් රථවලට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට අදාල බස් රථ සඳහාද ලංගම ඩිපෝවලට අයත් පිරවුම්හල් මගින් ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.