Monday, April 29, 2024

General line - 0115112241

යුක්‍රේනයේ ප්‍රධාන නගරයක් රුසියානු හමුදාව යටතට - "අහිංසක සිවිල් වැසියන්ට වෙඩි තබන්න එපා " නගරාධිපති කියයි




යුක්‍රේනයේ ප්‍රධාන නගරයක බලය අත්පත් කර ගැනීමට රුසියානු හමුදාව සමත්ව තිබෙනවා. ඒ අනුව ඔවුන් අත්පත් කර ගෙන ඇත්තේ කර්සන් වරාය නගරයයි. 

යුක්‍රේනයේ පිහිටි උපායමාර්ගික වශයෙන් වැදගත් නගරයක් ලෙසයි කර්සන් නගරය හැදින්වෙන්නේ. 

ඒ අනුව යුක්‍රේන ආක්‍රමණයේදී රුසියානු හමුදාව යටතට පත්වුනු පලමු ප්‍රධාන නගරය කර්සන් නගරයයි. අණදෙන නිලධාරියෙකු සමගින් 10 දෙනෙකුගෙන් සමන්විත රුසියානු හමුදා නිලධාරීන් කණ්ඩායමක් කර්සන් නගර සභා ගොඩනැගිලට ඇතුලු වූ බවයි

 නගරාධිපතිවරයා සදහන් කලේ. පවතින තත්ත්වය අනුව අවි දැරූ රුසියානු හමුදාවට අවනත වන ලෙසයි නගරාධිපතිවරයා කර්සන් නගර වැසියන්ට දැනුම් දී ඇත්තේ. 

එමෙන්ම අහිංසක සිවිල් වැසියන්ට වෙඩි තැබීමෙන් වළකින ලෙසද කර්සන් නගරාධිපතිවරයා රුසියානු හමුදාවෙන් ආයාචනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. කර්සන් නගරයේ ජනගහනය ලක්ෂ 3 කට ආසන්නයි. 

මේ අතර යුක්‍රේනයේ කිව් අගනුවර ඉලක්ක කර ඊයේ රාත්‍රිය පුරා දරුණු ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙනවා. නගරයෙන් විශාල පිපිරුම් හඩ ඇසුනු බවත් පිපිරීම් හා ගිනිගැනීම් හේතුවෙන් රාත්‍රිය පුරා කිව් අගනුවර අහස තැඹ්ලි පැහැ ගැන්වී තිබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. අගනුවර පිහිටි දුම්රියපලකටද ප්‍රහාරයක් එල්ල වී  ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාකිව් නගරයට රුසියානු පාබල හමුදා ඇතුලු වී තිබෙනවා.

කාකිව් නගරයේ ද මේවනවිට දරුණු ගැටුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. යුක්‍රේනයේ මරිපෝල් නුවරට ද රුසියානු හමුදාවෙන් ප්‍රබල ප්‍රහාර එල්ල වන අතර නගරයේ විදුලි සැපයුම් සම්පූර්ණයෙන් බිදවැටී තිබෙනවා. 

මේ අතර රුසියාවෙන් එල්ල වන දරුණු ප්‍රහාර හමුවේ යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඊයේත් සුපුරුදු පරිදි ජාතයන්තරයේ අවධානය යොමුවන පරිදි යුක්‍රේන වැසියන් අමතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ඔහු රුසියාවට චෝදනා නැගූ අතර රුසියාවට එරෙහිව අඛණ්ඩව සටන් වදින බව පැවසුවා. 

ඒ සදහා ඔහු යලිත් බටහිර හා යුරෝපානු රටවල සහය ද ඉල්ලා තිබෙනවා. කෙසේවෙතත් කර්සන් නගරය රුසියානු හමුදාව යටතට පත්වීම සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වා නැහැ.