Tuesday, April 30, 2024

General line - 0115112241

මාලදිවයිනෙන් ඉන්දියාව පළවා හැරීමේ ‍දුස් තොරතුරැ යුද්ධය




අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය යොදාගෙන දුස් තොරතුරැ බෙදාහැරීම වර්තමානයේ දී ලෝකය තුළ ගිනි අවි නොමැතිව කෙරෙන යුද්ධයක් බදුය.  

සාක් කලාපයේ කුඩා දූපත් රාජ්‍යයක් වන මාලදිවයින තුළ සිදුවන එවන් දුස් තොරතුරැ යුද්ධයක් පිළිබද අපූරැ වාර්තාවක්, මාලදිවයින් හඩ හෙවත් මෝල්ඩිවුස් වොයිස් මගින් අනාවරණය කර තිබේ.

එම වාර්තාවට අනුව මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ ආධාරකරුවන් විසින් විශේෂයෙන් අන්තර්ජාල මාධ්‍ය යොදාගෙන මෙහෙයවන  ඉන්දියා අවුට් හෙවත් ඉන්දියාව ඉවත් කිරීමේ ව්‍යාපාරය සමාජ නොසන්සුන්තාව ඇති කරමින් ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි සැක සහිත විෂය පථයක් නිර්මාණය කර ඇත. මේ සම්බන්ධයෙන්, ඉන්දියාවේ පමණක් නොව අනෙකුත් විදේශ රටවල් ද විශේෂ අවධානයක් යොමු කර තිබේ.  

ප්‍රගතිශීලී පක්ෂයේ (පීපීඑම්) අබ්දුල්ලා යමීන් 2013 දී ජනාධිපති වූ පසු මාලදිවයිනේ ඉන්දියානු විරෝධී හැඟීම්වලට අදාළ ක්‍රියාකාරකම් වර්ධනයවීම සිදුවූ බව පැහැදිළිව නිරීක්ෂණය කළ හැකි තත්වයකි. 

ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ 2014 සැප්තැම්බර් 14 වැනි දින චීන ජනාධිපති ෂී ජින් පින්ගේ මාලදිවයිනේ සංචාරය සිදු වූ අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයක් ගොඩනඟා වසර 42 කට පසු චීන ජනාධිපතිවරයකු මාලදිවයිනේ කළ පළමු සංචාරය මෙය විය. මෙය ජනාධිපති යමීන්ට  චීනය සමග ගනුදෙනු කිරීමටත්,  අරමුදල් ණයට ගැනීමටත් අවස්ථාව උදා කළ අතර එහිදී ඔහු එම අරමුදල්වලින් යටිතල පහසුකම් ව්‍යාපෘති වේගවත් කළේය.

ජනාධිපති, යමීන් චීනය සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පාලන කාලය තුළ ඩොලර් බිලියන 1.3 ක පමණ ණය ,  මාලදිවයින චීනයෙන් ලබාගෙන ඇති අතර එම ණය ප්‍රමාණය මාලදිවයිනේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකකට වඩා වැඩි බවට ගණන් බලා ඇත.  එම ණය දිවයිනේ ගුවන් තොටුපළ සහ ‘සින්මාලේ මිත්‍රත්ව පාලම’ ඉදිකිරීම සඳහාත්  මහල් 25 ක මහල් නිවාස සංකීර්ණයක් සහ රෝහලක්  ඉදි කිරීමටත් යොදාගෙන තිබේ. චීනය සමඟ ඉතා සමීප සබඳතාවලට කැමැත්තක් දැක්වූ යමීන් 2017 දෙසැම්බර් 7 වැනි දින චීනයට ගිය අවස්ථාවේදී නිදහස් වෙළඳ ගිවිසුමකට ද අත්සන් කළ අතර එය චීනයට පමණක් වාසිදායක වන ලෙස අත්සන් තැබූ එකක් ලෙස‍ට විවේචන එල්ල වූවකි.

මේ අන්දමට මාලදිවයින තුළ චීන බලපෑම  ක්‍රමානුකූලව ව්‍යාප්තවීම සිදුවූ අතර යමින් නායකත්වය දුන්-පීපීඑම් පක්ෂය ඊට අවශ්‍ය  පිටුබලය ලබාදුන් බව රහසක් නොවීය. මෙම තත්වයට එරෙහිව රට තුළ විරැද්ධ මතයක් ‍ගොඩනැගීම අනිවාර්ය සංසිද්ධියක් විය. එම මතවාදය  ගොඩනැංවීමට කටයුතු කළ හෝ යමින්ගේ බලය අවදානමට ලක් කළ ඕනෑම ආයතනයකට එරෙහිව වැරදි තොරතුරු බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භවී වර්ධනය වීම සිදුවූයේ මෙම පසුබිම තුළය. 

වත්මන් ජනාධිපති සෝලි 2018 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර,  යමීන්ට බලය අහිමි වනතුරුම ඉන්දියාව ඉවත් කිරීමේ ව්‍යාපාරය මාලදිවයින තුළ එතරම් ජනප්‍රියව තිබුණේ නැත. ජනාධිපති යමීන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ වසර පහක සිර දඬුවමකට යටත් කරනු ලැබූ අතර මෙම ව්‍යාපාරය ශක්තිමත්ව වර්ධනය වූයේ මේ පසුබිම තුළය. 

ජනාධිපති සෝලිගේ නායකත්වය යටතේ මාලදිවයින කෝවිඩ් වසංගත සමයේ ඇතිවූ  අහිතකර බලපෑම්වලට පවා සාපේක්ෂව හොඳින් මුහුණ දුන් බව සදහන් කළ යුතුය. මේ සියල්ල මධ්‍යයේ, විපක්ෂ සන්ධානය 2020 අගෝස්තු 28 වන දින මාලදිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්වූ අතර එහි මූලික ඉල්ලීම වූයේ  හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් නිදහස් කර ගැනීමයි. එම විරෝධතාවල තවත් සටන් පාඨයක් වූයේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් ඉල්ලා අස්විය යුතු බවයි .

මෙම තත්වය මැද රට තුළ යළි දේශපාලන නොසන්සුන්තාවයක් වර්ධනය වුවද එය එතරම් ඔඩු දුවා ගියේ නැත. මේ අතර 2021 පෙබරවාරි 21 වන දින ඉන්දියාව සහ මාලදිවයින අතර වෙරළාරක්ෂාවට  සහ වරාය සංවර්ධනයට අදාළ UTF ගිවිසුම අත්සන් කෙරැණු අතර එය ජනතාව විවිධ කුතුහලයන් මැද වුව මැදහත් සිතින් භාරගත් බවක් නිරීක්ෂණය විය. 

එහෙත් යමීන් ජනාධිපතිවරයාට හිතවාදී අන්තර්ජාල පුවත් වෙබ් අඩවි අතලොස්සක් මතභේදාත්මක ලිපි මුදා හරිමින් එම කුතුහලය ආක්‍රමණශීලී  චෝදනා නැගීමක් බවට පරිවර්තනය කළේය. මෙම ප්‍රවෘත්ති වෙබ් අඩවි විසින් විවිධ චෝදනා එල්ල කළ ද  ගිවිසුම ජාතික තර්ජනයක් නොමැති එකක් බව රජය දිගින් දිගටම අවධාරණය කරනු ලැබිණ. එහෙත් එම වෙබ් අඩවි මහජන අවධානය දිනා ගැනීම සඳහා දිගින් දිගටම විවිධ ව්‍යාජ ‍චෝදනා නිර්මාණය කරමින් අසත්‍ය ප්‍රචාර පැතිරවීමේ දුස් තොරතුරැ යුද්ධයක් ආරම්භ කරන ලදී.

මෙම සමස්ත ව්‍යාපාරයම ඉතා හොඳින් සැලසුම් කොට ක්‍රියාත්මක කළ ප්‍රචාරණ යුද්ධයක් වූ අතර 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට අලුතින් ස්ථාපිත කරන ලද නව මාධ්‍ය වේදිකා සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙය වඩාත් පුලුල්ව සිදුකර ඇති අන්දම නිරීක්ෂණය කළ හැකි විය. 

මෙම වත්මන් ඩිජිටල්  දුස් ‍තොරතුරැ යුද්ධ සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රමුඛයන් මැද චීනය කැපීපෙනෙන අතර විවිධ මාධ්‍ය වෙත ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරමින් ලොව පුරා සිය ගෝලීය ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට ඔවුන් කටයුතු කරන අන්දම ලෝකයට රහසක් ‍නොවේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ප්‍රධාන චීන මාධ්‍ය ආයතන මෙන්ම  චීනයේ අවහිර කර ඇති (Twitter, Facebook, YouTube, and Instagram) වැනි මාධ්‍ය වේදිකා සදහා ද  භාෂා ගණනාවකින් , පරිශීලකයන් කෘතිමව පවා නිර්මාණය කරමින්  මෙය ක්‍රියාත්මක වීමයි. 

මාලදිවයිනේ  මෙම දුස් තොරතුරැ ව්‍යාපාරය තුළ ද චීන මැදිහත් වීම පැවතීම විශේෂෙයෙන් නිරීක්ෂණය කළ යුත්තකි. පෙර සදහන් කළ පරිද යමීන් බලයේ සිටියදී චීනය සහ මාලදිවයින යහපත් සබඳතාවක් ගොඩනඟා ගන්නා ලදී. එහිදී,  සම්මන්ත්‍රණ සහ හුවමාරු වැඩසටහන් රාශියකට අරමුදල් සැපයීම සිදුවූ අතර එක් අතකට එය මාලදිවයින සදහා පමණක් අදාළ වූවක් නොවන අතර අනෙක් බොහෝ රටවලට ද අදාළ සත්‍යයකි. මෙහිදී මාලදිවයිනේ නව අංකුර මාධ්‍යවේදීන් රැසකට ද විවිධ අවස්ථා ලැබුණු අතර ඔවුන්ට නව ලෝක මාධ්‍ය අනුපිළිවෙලක් සැකසීමේ චීනයේ  ඉලක්කයට අදාළව  තොරතුරු හැසිරවීම, ප්‍රචාරණය පතුරුවා හැරීම, ඒ සඳහා සමාජ ජාලවල  ගිණුම් නිර්මාණය කිරීම, මහජන මතයට බලපෑම් කිරීම ආදිය සම්බන්ධයෙන් පහසුකම් සැපයුණු බව නොරහසකි.මෙහිදී ඔවුන් තම  ඉලක්ක ආරක්ෂා කිරීම‍ට, විරැද්ධවාදීන්‍ට පහරදීමට,  මතභේද ඇති කිරීමට, අපහාස කිරීමට  කටයුතු කරන ලදී. ඒ අනුව මෙම අංකුර මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වේදිකා යළි අමීන් බලයට පත් කිරීමටත්, ඒ හරහා චීනයට භූදේශපාලන වාසි ලබාදීමටත් කටයුතු කිරීම ආරම්භ කර වර්ධනය කළ බවට සාක්ෂි රැසක් අනාවරණය වී තිබේ. 

පසුගිය 2018 මැතිවරණ සමයේ එවැනි මාධ්‍ය වේදිකා රැසකට මුදල් ලැබුණු බවට සාක්‍ෂි පවතින අතර 2023 මැතිවරණය ආසන්න වන විට යළිත් එවැනි තත්වයන් මතුවෙමින් තිබේ. මේ සදහා මාලදිවයින තුළින් මෙන්ම පිටතින් ද සම්බන්ධ වී ඇති මාධ්‍ය  ජාලා සහ පුද්ගලයන් හඳුනාගැනීමට මේ වන විට තවදුරටත් පර්යේෂණ සිදුකරමින් පවතින අතර ඉදිරියේ දී ඒ පිළිබද තවත් තොරතුරැ රැසක් හෙළිවනු ඇත.
කෙසේවෙතත්, මේ සමස්තය තුළ වටහාගත හැක්කේ වර්තමානයේ දී රටවල්වලට බලපෑම් කිරීමට, හෝ ඒවා විවිධාකාරයෙන් සිය යටතට සහ පාලනයට ගැනීමට අවිආයුධවලට වඩා බලගතු ‍අවියක් ලෙස අන්තර්ජාල නව මාධ්‍යවේදිකා ඔස්සේ සිදුකෙරෙන දුස් තොරතුරැ යුද්ධ යොදාගත හැකි බවයි.