Tuesday, April 30, 2024

General line - 0115112241

ඇමරිකාවෙන් පකිස්තානයටත් සම්බාධක




ත්‍රස්තවාදී කටයුතුවලට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම මත පකිස්තානයට එරෙහිව සම්බාධක පනවන ලෙස ඇමරිකානු කොංග්‍රස් සභිකයන් පිරිසක් යෝජනා කර තිබෙනවා.

ඔවුන් දැනටමත් මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතක් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ විදේශ සබදතා පිළිබද කමිටුවට ඉදිරිපත් කර ඇති බව සදහන්.

පෙනිසිල්වේනියාව නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ කොංග්‍රස් සභික ස්කොට් පෙරී පවසන්නේ , පකිස්තානය විවිධ රටවල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සදහා සහය දක්වන බව  තහවුරැ වී ඇති බවයි.

ඇමරිකාවේ නව පකිස්තාන තානාපතිවරයා වන මෂූඩ් ඛාන්  ද එම ක්‍රියාකාරකම්  සදහා සම්බන්ධවූවෙකු ලෙස තවත් කොංග්‍රස් සභිකයන් පිරිසක් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ පිළිබද ඇමරිකානු නීතිපතිවරයාට මේ සම්බන්ධව කරැණු දක්වා ඇති අතරම අදාළ පනත් කෙටුම්පත ද සකසා ඇති බව සදහන්.

එම පනත් කෙටුම්පත මගින් පකිස්තානයට ලබාදෙන ආධාර සීමා කිරීමට, එරටට ආරක්ෂක උපකරණ අපනයනය අත්හිටුවීමට, පකිස්තානයේ ජාත්‍යන්තර මූල්‍ය ක්‍රියාකාරකම් සදහා සීමා පැනවීමට යෝජනා කර තිබෙනවා.

ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමේ පදනම මත ඇමරිකාව විසින් දැනට මෙවැනි සම්බාධක පනවා ඇති රටවල් වන්නේ උතුරැ කොරියාව, ඉරානය, කියුබාව සහ සිරියාවයි.