Thursday, May 16, 2024

General line - 0115112241

රුසියා - යුක්රේන යුද්ධයේදී ඉන්දියාව පැත්තක් නොගත්තේ ඇයි?




යුක්රේන - රුසියා යුද්ධයේදී න්‍යෂ්ඨික බලවතෙක් වන ඉන්දියාවට රාජ්‍යතාන්ත්‍රිකව තිබෙන්නේ අතුරේ යෑමක්. ඒ බටහිර සමග මෙන්ම රුසියාව සමගත් තුලනාත්මක සබඳතාවක් ආරක්ෂා කරගැනීමට ඇති නිසාවෙනි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී මෙන්ම විශේෂ මහා මණ්ඩල සැසිවාරයේදී රුසියාවට එරෙහි යෝජනා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී ‘පැත්තක් නොගෙන සිටීමේ‘ ස්ථාවරයකට ඉන්දියව එළැඹියා.

මෙලෙස තුලනාත්මක ස්ථාවරයක් ගැනීමට ඉන්දියාවට සිදු වූ හේතු රැසකි. ඒ අතුරින් ප්‍රධාන වන්නේ ඉන්දියාව හා රුසියාව අතර ඇති දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයි.

ඉන්දියාව සහ රුසියාව අතර මෙන්ම සහ එහි පූර්වගාමියා වූ සෝවියට් සංගමය අතර දේශපාලන, ත්‍රස්තවාදය වැලැක්වීම, ආරක්‍ෂාව, සිවිල් න්‍යෂ්ටික බලශක්තිය සහ අභ්‍යවකාශය යන ප්‍රධාන අංශ පහක් මත කේන්ද්‍රගත වූ උපායමාර්ගික සම්බන්ධතාවයක් දිගු කලක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

ඉන්දියානු ආරක්ෂක උපකරණ බහුතරයක් සෝවියට් හෝ රුසියානු නිෂ්පාදිත වන අතර, විද්‍යාත්මක ක්ෂේත්‍රවල, සහයෝගීතාවයට අභ්‍යවකාශ භෞතික විද්‍යාව සහ අභ්‍යවකාශය ඇතුළත්.

1971 ඉන්දු-සෝවියට් සාමය, මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳ ගිවිසුමෙන් පසුව දෙරට අතර හවුල්කාරිත්වය වර්ධනය වූණා.

විශේෂයෙන්ම පකිස්ථානය සමඟ ආතතීන් උත්සන්න වීම සහ ඇමෙරිකානු සහය පාකිස්ථානයට හිමි වීම ඊට ප්‍රබල ලෙස බලපෑ බව සඳහන් කළ හැකියි.

පසුගිය දශක කිහිපය තුළ රුසියානු අභ්‍යවකාශ තාක්‍ෂණය මත ඉන්දියාවේ යැපීම අඩු වී ඇත, නමුත් දෙරට ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය වන ISRO සහ එහි රුසියානු සහකරු වන Roscosmos හරහා සහයෝගිතාව අඛණ්ඩව පවතිනවා.

දෙරට අතර ඓතිහාසික අභ්‍යවකාශ සහයෝගීතාවය පිළිබඳ සැලකීමේදී, ඉන්දියාව 1975 දී සිය පළමු චන්ද්‍රිකා දෙක වන Aryabhata සහ Bhaskara දියත් කිරීමට පැරණි සෝවියට් සංගමයට අයත් Kosmos රොකට්ටුව යොදා ගත්තා.

භාස්කර-2 1981 දී Intercosmos රොකට්ටුවක් මගින් කක්ෂගත කරනු ලැබුවා. 1988 දී, ඉන්දියාවේ ප්‍රථම නවීනතම, දේශීයව සාදන ලද, IRS-1A දුරස්ථ සංවේදක චන්ද්‍රිකාව සෝවියට් Vostok මගින් දියත් කරන ලද අතර IRS-1B එම රොකට්ටුවම ආධාරයෙන් 1991 දී දියත් කරනු ලැබුවා.

සෝවියට් සංගමයේ  බිඳ වැටීමෙන් පසුව වුවද  ඉන්දියාවේ සහ රුසියාවේ අභ්‍යවකාශ මෙහෙයුම් සහයෝගීතාව අඛණ්ඩව පැවතුණා.

ජාතීන් දෙක අන්තර් ග්‍රහලෝක මෙහෙයුම් සඳහා ද සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා වල සදහන්. 

මීට අමතරව රටවල් දෙකෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේ සිසුන් සහභාගී වන විද්‍යාත්මක-අධ්‍යාපනික වැඩසටහනක් වන YouthSat නමින් ඉන්දු-රුසියානු ඒකාබද්ධ වායුගෝලීය චන්ද්‍රිකා වැඩසටහනක් ද මේ වන විට ක්‍රියාත්මක වනවා. 

එම ව්‍යාපෘතියේ පළමු චන්ද්‍රිකාව වන YouthSat සහ දෙවන චන්ද්‍රිකාව Resourcesat-2 2011 දී ශ්‍රී හාරිකෝතා සිට අභ්‍යවකාශ ගත කරන ලද අතර  එම චන්ද්‍රිකා සදහා රුසියාව සහ ඉන්දියාව විසින් බරපැන දරා තිබෙනවා. 

අභ්‍යවකාශයට පියාසර කළ පළමු ඉන්දියානුවා වන රාකේෂ් ෂර්මා 1984 දී ඒ සදහා රුසියානු කාර්ය මණ්ඩලයක් සමඟ Soyuz T-11 රොකට්ටුව භාවිත කිරීම ද දෙරටේ සහයෝගිතාව නිරූපණය කරන්නක්.

මේ අතර දෙරටේ ආරක්ෂක බැඳීම්ද ලොව අන් රටවලට සාපේක්ෂව පවතින්නේ ඉතා ඉහල මට්ටමකයි. 

ඉන්දියාව සිය ආරක්ෂක උපකරණ රට තුලම නිෂ්පාදනය කිරීමට යොමු වීම තුළ රුසියානු කොටස සියයට 70 සිට සියයට 49 දක්වා පහත වැටුණද තවමත් ඉන්දියාවේ විශාලතම ආයුධ සැපයුම්කරු වන්නේ රුසියාවයි.

සබ්මැරීන, නාවික හමුදාවට අයත් යුද නෞකා කිහිපයක් සහ නවීනතම ගුවන් ආරක්ෂක පද්ධති ඊට ඇතුළත්.  
ඉන්දියාවේ සේවයේ යෙදී සිටින එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන INS වික්‍රමදිත්‍ය රුසියානු නිශ්පාදනයක් වනවා. 

ඉන්දියාවේ ස්වදේශික න්‍යෂ්ටික සබ්මැරීන වැඩසටහනේ ද රුසියාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. 

මේ අතර ලොව වේගවත්ම කෲස් මිසයිලය වන BrahMos කෲස් මිසයිලයට කිලෝමීටර් 400 ක දුරක් ගමන් කළ හැකි අතර එය ඉන්දියාව , රුසියාව සමඟ සිදුකල  හවුල් නිෂ්පාදනයක්.

අති නවීන S-400 Triumf ගුවන් ආරක්ෂක පද්ධතිය මෙන්ම , ඉන්දියාව සතු IAF ප්‍රහාරක ජෙට් යානා, Su-30 MKI, MiG-21 Bison, සහ MiG-29 ඇතුළු යානා බහුතරයක් රුසියානු නිශ්පාදනයි.

මීට අමතරව රුසියානු සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන භූගෝලීය වශයෙන් රුසියාවට ආසන්නව පිහිටා ඇති ටජිකිස්තානය සමඟද ඉන්දියානු ආරක්‍ෂක සබඳතා ක්‍රියාත්මක වනවා. 

ඉන්දියාවේ පළමු සහ එකම විදේශීය හමුදා කඳවුර වන ටජිකිස්තානයේ Gissar Military Aerodrome (GMA) - 1990 ගණන්වල අගභාගයේදී රුසියානු ආධාර ඇතිව ස්ථාපනය කරනු ලැබූ අතර එය සුරක්ෂිත කර 2000 ගණන්වල මුල් භාගයේදී සංවර්ධනය කෙරුණා . 

එය ටජිකිස්ථාන් අගනුවර වන දුෂාන්බේ ට බටහිර දෙසින් පිහිටා තිබෙනවා. 

මේ අතර ඉන්දු - රුසියානු න්‍යෂ්ටික සහයෝගිතාවද පවතින්නේ ඉතා ඉහල මට්ටමකයි. 

නවදිල්ලි පාලනය, න්‍යෂ්ටික අවිහරණ ගිවිසුම (NPT) අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා එවක ඉන්දියාවට බටහිරින් සම්බාධක පැනවූ අවධියේ දී පවා සෝවියට් සංගමය ඉන්දියාවට න්‍යෂ්ටික ප්‍රතික්‍රීයක සහ ඉන්ධන සැපයීමට කටයුතු කලේ දෙරටේ සහයෝගීතාව ලොවට පෙන්නුම් කරමින්. 

1988 දී, සෝවියට් සංගමය නිල ගිවිසුමකින් තොරව තමිල්නාඩුවේ කූඩන්කුලම් හි න්‍යෂ්ටික ප්‍රතික්‍රීයක දෙකක් ඉදිකිරීමට එකඟවීම මීට මනා උදාහරණයක්. 

මෙම ගනුදෙනුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ 1992 වසරේදීයි. 

වසර 2000 දී රුසියාව සහ ඉන්දියාව න්‍යෂ්ටික බලශක්තිය "සාමකාමී ලෙස භාවිතා කිරීම" සඳහා සහයෝගීව කටයුතු කිරීමට සහ මහාරාෂ්ට්‍රයේ තාරාපූර් ප්‍රතික්‍රීයකය සඳහා ඉන්දියාවට අඩු වියදම්  යුරේනියම් ඉන්ධන සැපයීම සඳහා තවත් රහස් අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණා 

2009 දීද දෙරට අතර ප්‍රධාන න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹුණු අතර රුසියාව තමිල්නාඩුවේ කූඩන්කුලම් හි න්‍යෂ්ටික ප්‍රතික්‍රීයක හතරක් සහ බටහිර බෙංගාලයේ එකක් ස්ථාපිත කිරීමට එකඟ වුණා. 

කූඩන්කුලමේ ඒකක දෙකක් දැනට ක්‍රියාත්මක වන අතර තුන්වන සහ හතරවන ඒකක ස්ථාපනය සඳහා සූදානම් වෙමින් පවතිනවා. 

පස්වන සහ හයවන ඒකකවල අඛණ්ඩ ඉදිකිරීම් සඳහාද රුසියාවේ සහාය අවශ්‍ය වන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන්. 

ඒ අනුව පෙනී යන කරුණ වන්නේ ඉන්දීය හා රුසියානු සහයෝගිතාව,  ලෙව අන් කවර රටවලටත් වඩා අතීතයේ සිට වර්තමානය දක්වාම පැවත එන ඉතා ශක්තිමත් එකක් බවයි. 

ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් පළ කරන හිටපු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ජේ.එන්.මිස්රා පවසන්නේ ඉන්දියාවට "තේරීමට නරක සහ ඉතා නරක විකල්ප දෙකක්" තිබුණු බවයි.

කෙනෙකුට එකවර දෙපාර්ශ්වයම සතුටු කළ නොහැකි නමුත්  ඉන්දියාව කිසිදු රටක් නම් නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ ඉන්දියාව රුසියාවට එරෙහිව නොයන බවයි. ඉන්දියාව පැත්තක් තෝරා නොගෙන සිටීමට  සූක්ෂම වී අතැයි මිස්රා පෙන්වා දෙනවා.

ඉන්දියාව මෙම රුසියානු -යුක්‍රේන යුදමය තත්වයේ දී පවා බටහිරට අවශ්‍ය දිශානතියට යොමු නොවනු ඇති බව ජ්‍යාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ දැඩි ස්ථාවරයයි.