Thursday, May 16, 2024

General line - 0115112241

බවුසර් රථ හිමිකරුවන් තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වෙයි




ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඛණිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, අද මධ්‍යම රාත්‍රියේ සිටයි. අවම වශයෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කළ යුතු බවයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ඉල්ලා සිටින්නේ. 

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි රථවාහනවලට අමතරව බැරල්වලට සහ බූලිවලට ඩීසල් නිකුත් කිරීම නතර කරන ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම්දී ඇතැයි අද වාර්තා පළ වුණා. කෙසේවෙතත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ එවැනි නියෝගයක් මේ දක්වා ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදීමට තීරණය කර නොමැති බවයි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවද්දී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් අද ඩොලර් සියයකටත් වඩා අඩු අගයකට පහළ ගියා. ඒ, සියයට 8 කින් මිල පහළ යමින්. අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94 ක මට්ටමක පැවති අතර බ්‍රිතාන්‍යය වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 ක මට්ටමක පැවතුණා.