Thursday, May 16, 2024

General line - 0115112241

බැලුම්ගල හෙළි කළ අනිල් බණ්ඩාරගේ පිරමීඩ මගඩිය ගැන පොලීසියට පැමිණිලි ගලයි




නෙත් එෆ් එම් බැලුම්ගල මඟින් අවස්ථා ගණනාවකදී අනාවරණ කළ අනිල් බණ්ඩාර සහ ඔහුගේ පිරිවර සිදුකරන “ෆාස්ට් ත්‍රී සයිකල්” නොහොත් “F3C ” පිරමීඩ ජාවාරම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි රැසක් ලැබෙමින් පවතිනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට ද පැමිණිලි ලැබෙමින් ඇති බවයි. මෙම ජාවාරම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයට, වෙරළබඩ පොලීසියට, මාලඹේ පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි ලැබී තිබෙනවා. පොලීසිය සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ද උපදෙස් ලබාගැනීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

මෙම පිරමීඩ ජාවාරමට හසුවූ පුද්ගලයින් ඒ පිළිබඳ පැමිණිලි සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.

අනිල් බණ්ඩාර සහ ඔහුගේ පිරිවර විවිධ නම්වලින් විවිධ පිරමීඩ ජාවාරම් සිදුකළ අතර නෙත් එෆ් එම් බැලුම්ගල 2017 වසරේදී සිදුකළ අනාවරණයකින් පසු එම කටයුතු නතර කිරීමට සිදු වුණා. එහෙත් කලක් නිහඩව සිටි ඔහු යළි පිරමීඩ ජාවාරම ආරම්භ කර ඇති බවයි ගවේශණයේදී අනාවරණය වුණේ.

මෑතකදී ඔහු සිදුකළ “ෆාස්ට් ත්‍රී සයිකල්” නොහොත් “F3C” පිරමීඩ ජාවාරමට හසුවී ඇති පිරිස ලක්ෂ 03 ක අධිකයි. ඒ පිළිබඳ නෙත් එෆ් එම් බැලුම්ගල අනාවරණයෙන් පසු ජාවාරම සිදුකළ රාජගිරියේ කාර්යාලය පවා මේ වන විට වසාදමා තිබෙනවා.