Thursday, May 16, 2024

General line - 0115112241

ජපන් අගමැති ඉන්දියාවට පැමිණ රුසියාවට දොස් නගයි




රුසියාවේ යුක්රේන ආක්‍රමණය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන පොදු නීති පවා උල්ලංඝණය වන බරපතල ප්‍රශ්නයක් බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ සිය ඉන්දීය නිල සංචාරය අතරතුරදීයි. 

සිය හමුදාවන් යොදා ගනිමින් ලෝකයේ පිළිගැනෙන පොදු නීති වෙනස් කිරීමට කිසිඳු පාර්ශවයකට අවසර ලබානොදිය යුතු බව ද ජපන් අග්‍රාමාත්‍යවයා සඳහන් කළා. රුසියානු යුක්රේන අර්බුදයේදී ජපානය සහය ලබාදෙන්නේ යුක්රේනයට බවයි ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අවධාරණ කළේ. 

ඉන්දු - ජපන් වාර්ෂික සමුළුවේ 14 වන අදියරට සහභාගී වීම සඳහා ඉහළ පෙළේ දූත පිරිසක් සමග ජපන් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට පැමිණ තිබුණා.

ඒ අනුව නවදිල්ලි අගනුවරදී ජපන් අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශේෂ මාධ්‍ය හමුවකට ද සහභාගී වුණා. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපන් අග්‍රාමාත්‍යවරයා වක්‍ර අයුරින් රුසියාවට වාග් ප්‍රහාර එල්ල කළේ එම අවස්ථාවේදීයි. ඉන්දියාවට පැමිණ එරට අග්‍රාමාත්‍යවරයා තමන් සමීපයේ සිටියදීම ජපන් අග්‍රාමාත්‍යවරයා රුසියාවට දොස් නැගීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. 

රුසියානු යුක්රේන අර්බුදයේදී ජපානය රුසියාවට දොස් නැගුව ද ඉන්දියාව කිසිඳු අවස්ථාවක රුසියාවට ප්‍රසිද්ධියේ දොස් පවරා නැහැ. ගැටුම්කාරී තත්ත්වයන්ට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් අර්බුද විසඳා ගන්නා ලෙසයි ඉන්දියාව රුසියාවෙන් ඉල්ලීම් කර තිබුණේ. 

රුසියානු යුක්රේන අර්බුදයේදී ජපානය යුක්රේනයට සහය දැක්වුවද ඉන්දියාව තවදුරටත් රුසියාව සමග සමීප සබඳතා පවත්වනවා. ඉන්දියාවේ විශාලතම ආයුද සැපයුම්කරු වන්නේ ද රුසියාවයි. යුක්රේන අර්බුදයේදී ඉන්දියාව, ස්වාධීන හා සමබර ස්ථාවරයක සිටින බවත් එය අගය කරන බවත් රුසියාව ද පවසා තිබුණා.