Thursday, May 16, 2024

General line - 0115112241

යුක්රේන යුද්ධයෙන් රුසියාව පසුබසින ලකුණු




යුක්රේනය තුළ ආරම්භ කළ හමුදා මෙහෙයුමේ පළමු අදියර අවසන් බව රුසියාව පවසනවා. ඒ අනුව නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් කලාපය කෙරෙහි සම්පූර්ණයෙන් අවධානය යොමු කරන බවයි රුසියාව පවසන්නේ. කෙසේවෙතත් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා යුරෝපානු රටවල් පවසන්නේ පූර්ව යුද උපායන් අසාර්ථක විම හේතුවෙන් රුසියාව මෙම ප්‍රකාශය නිකුත් කර ඇති බවයි. 

එමෙන්ම ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ හමුදා මෙහෙයුමේ පළමු සති 03 තුලදීම රුසියාව පරාජයට පත්වූ බවයි. අපේක්ෂා කළ පරිදි යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා සකස් කළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද රුසියාව අපොහොසත් වූ බව ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙනවා. 

යුක්රේනය තුළ ආරම්භ කළ සිය හමුදා මෙහෙයුමේදී කිව් අගනුවර අල්ලා ගැනීම රුසියානු හමුදාවේ ප්‍රධාන අරමුණක් වි තිබුණා. එහෙත් යුක්රේනයට එරෙහිව යුද ප්‍රකාශ කර මාසයක කාලයක් ගතව ඇතත් කිව් අගනුවර අල්ලා ගැනීමට රුසියාවට මෙතෙක් හැකිවී නැහැ. 

කෙසේවෙතත් උපාය මාර්ගික වශයෙන් වැදගත් කළු මුහුද ආශ්‍රිත යුක්රේනයේ වරාය නගර කිහිපයක බලය අල්ලා ගැනීමට රුසියාව සමත් වුණා. රුසියාවේ ගුවන් ප්‍රහාර හමුවේ යුක්රේනයේ නගර රැසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. 

එලෙස විනාශ වී ඇති නගර යළි ගොඩනැගීමට වසර ගණනාවක් ගතවනු ඇති බවයි යුක්රේනය පවසන්නේ. කෙසේවෙතත් රුසියානු හමුදාවේ ග්‍රහණයට ලක්ව ඇති නගර කිහිපයක් යළි අල්ලා ගැනීමට යුක්රේන හමුදාව මේවනවිටත් සටන් වදිමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.