Monday, April 29, 2024

General line - 0115112241

විශ්වාසයභංගය මධ්‍යයේ ඉම්රාන් ඛාන් ජාතිය ඇමතීමට සැරසෙයි




පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමතීමට සූදානම් වනවා. ඒ අනුව අද රාත්‍රියේ ඔහු ජාතිය අමතනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඊයේ දිනයේදී ජාතිය ඇමතීමට සූදානම්ව සිටියත් බුද්ධි අංශ ඉදිරිපත් කළ තොරතුරු හේතුවෙන් එය කල් දැමුණූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙලෙස ජාතිය ඇමතීමට සූදානම් වන්නේ ඔහුට එරෙහිව පකිස්තාන පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කර ඇති පසුබිමක් තුළයි. එරට වේලාවෙන් අද පස්වරු 04 ට පකිස්තාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට එම විශ්වාසභංගය ඉදිරිපත් කෙරුණු අතර ඊට අදාළ විවාදය ද ආරම්භ කර තිබෙනවා. 

කෙසේවෙතත් දින 07 ක් ඇතුළත පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම පැවැත්විය යුතු වනවා. 

අග්‍රාමාත්‍යවරයා කෙරෙහි පාර්ලිමේන්තුවේ තිබූ විශ්වාසය බිඳ වැටී ඇති බව පවසමින් පකිස්තානයේ විපක්ෂ නායකවරයා විසින් ඉකුත් දා මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රට බරපතළ අර්බුදයකට ඇද දමා ඇති බවටයි විපක්ෂය චෝදනා කරන්නේ. 

කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණේ පකිස්තාන අග්‍රාමාත්‍යවරයා බලයෙන් පහකිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බවයි. ලොව රටවල් 03 කට අයත් ප්‍රබල ඔත්තු සේවා 03 කට එම රටවල පාලනාධිකාරිය මගින් ඒ සඳහා නියෝග ලබාදී ඇති බවත් එම විදෙස් මාධ්‍ය අනාවරණ කළා.  

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම එම කුමන්ත්‍රණයේ එක් කොටසක් වන බවයි එම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.