Sunday, May 5, 2024

General line - 0115112241

පාස්කු මංගල්‍යය වෙනුවෙන් ජනපති සහ අගමැතිගෙන් පණිවුඩයක්




පාස්කු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. පාස්කු මංගල්‍යය යනු සිත් තුල ඇති අඳුර දුරු කොට බලාපොරොත්තුව ගෙන දෙමින් ජීවිත පරිවර්තනයකට කැඳවන ක්‍රිස්තුස් වහන්සේගේ බලය ලොවට ප්‍රකාශනය වීමකි. 

එය බලාපොරොත්තුව සහ විමුක්තිය තුළින් ලෝකයේ අන්ධකාරය සහ අපේක්ෂා භංගත්වය තුරන් කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ උකුත් වීම සහ උත්ථානය පිළිබඳ පණිවුඩය මෙනෙහි කිරීමට සැමට ආරාධනා කරයි.

ජේසුස් වහන්සේගේ උතුම් ඉගැන්වීම් අපට මතක් කර දෙන්නේ බලාපොරොත්තුවෙන් අන්ධකාරයෙන් අවිශ්වාසය සහ අවිනිශ්චිතභාවය පරාජය කරමින් මුළු ලොවටම ප්‍රේමය හා කරුණාව දැක්විය යුතු බවය. 

අප ජීවිතවල අඳුරු හා බලාපොරොත්තු සුන් වූ අවස්ථාවන්හිදී පවා පාස්කු මංගල්‍ය මෙම පණිවුඩය අපට බලාපොරොත්තුව සහ ධෛර්යය ලබා දෙයි. තම ජීවිතය මෙන් ම ලෝකය තුළ අවිශ්වාසය සහ පාපය අන්ධකාරය හේතුවෙන් පැන නැගී ඇති අභියෝග ජයගැනීමට පාස්කු මංගල්‍යයේ ඥානාලෝකය ධනාත්මක බව සහ ආධ්‍යාත්මික ශක්තිය අප සැමට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා නිකුත් කළ පාස්කු දින පණිවිඩයේ දැක්වෙනවා. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පාස්කු දින පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. පාස්කු මංගල්‍යයට පෙර කිතුනු බැතිමත්හු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය මත දිවි පිදීමේ යාගය මහ සිකුරාදා දිනයේ දී සිහිපත් කරනුයේ දුක් විඳීම හා මරණය මෙනෙහි කරමිනි. පරිත්‍යාගශීලී ජීවිතයක වටිනාකම මෙන්ම ධෛර්ය හා ශක්තිය ජීවිතයට ළඟා කරගත හැකි ආධ්‍යාත්මික මාර්ගය මෙනෙහි කිරීමට අද වැනි දිනයක් සියලු දෙනාට එක සේ වැදගත්ය. 

ඒ සඳහා ඔවුහු අලු බදාදා සිට දින 40ක කාලයක් දුක් ප්‍රාප්තියට වඩාත් සමීප වෙමින් යාඥාවෙන් භාවනාවෙන් උපවාස ශීලයෙන් හා විවිධ පුණ්‍ය ක්‍රියා ඔස්සේ අධ්‍යාත්මික සහනය ප්‍රාර්ථනා කරති. 

සමාජීය හා සදාචාර සම්පන්න පැවැත්ම විනාශ කරන සහ සමාජය අඳුරු ගන්වන නපුරු බලවේග පලවා හැරීම සඳහා පාස්කු ආලෝකය ජනතාවට සහනාලෝකයකි. 

සමාජ සාධාරණත්වය මනුෂ්‍යත්වය සහ ප්‍රේමය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට ගෙන ආ ජීවිතාදර්ශය තුළ සැබෑ ජීවන වෙනසක් අත්දකිමින් සහජීවනයෙන් හා අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුනු ජනතාවට හැකිවේවායි ප්‍රාර්ථනය කරන බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පාස්කු දින පණිවුඩයේ දැක්වෙනවා.