Sunday, May 5, 2024

General line - 0115112241

හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නැහැ - ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්




සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අවධාරණය කර තිබෙනවා. 

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් සිය ෆේස්බුක් ගිණුමේ ආරක්ෂක ලේකම්වරයා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිවරයා අමතා තබා තිබූ සටහනට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන්. 

ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකෙරෙන සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයන් යොදා නොගන්නා බවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ. ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී දේශයේ ආරක්ෂාව වෙනුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලීසිය විසින් එවැනි සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලීසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය ලබාදෙන බවද එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන අයවලුන් අතරට බුද්ධි අංශ සාමාජිකයන් යවා ඔවුන් මඟින් යම් කලකෝලහාල තත්ත්වයක් ඇතිකර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදුකර එය හුවාදක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව යොදාගැනීමේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.