Monday, May 6, 2024

General line - 0115112241

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදට වසර 03 යි - ප්‍රධාන දේවමෙහෙය කොච්චිකඩේදී




පාස්කු ප්‍රහාරය එල්ලවී අදට වසර තුනක් සම්පූර්ණ වනවා. 2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ  කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් 3 ක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 ක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

එලෙස මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් අද පෙරවරු 8 යි 45 ට විනාඩි දෙකක නිෂ්ශබ්දතාවක් පවත්වනු ලබනවා. කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වෙන බවයි අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සදහන් පැවසුවේ. 

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් විදේශිකයින් 46 දෙනෙකුටද දිවි අහිමි වුණා. එම විදේශිකයන් වෙනුවෙන් එම රටවල තානාපති නිලධාරීන්ටද කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වෙන සැමරුම් උත්සව සදහා එක්වන ලෙසට ආරාධනා කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

පාස්කු ප්‍රහාරයෙන් පවුල් 400 කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් සදාකාලිකව ආබාධිතව රෝද පුටුවල දිවි ගෙවන පුද්ගලයින් සංඛ්‍යාව 17 අධිකයි. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ප්‍රමුඛ බෝම්බකරුවන් එල්ල කළ මෙම මිලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලබා මේ වනවිට පුද්ගලයින් 47 කට අධික සංඛ්‍යාවක් එක්තැන්ව සිටිනවා. 

මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබද 97ත් වතාවක් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණද ඒ සදහා කඩිනම් පියවර නොගැනීම මෙම ප්‍රහාරයට හේතු වූ බවයි පාස්කු කොමිසමේදීද අනාවරණ වුණේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන සිටියද  මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරන පරීක්‍ෂණ පිළිබද සෑහීමකට පත් නොවන බවයි අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සදහන් කළේ.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට සාධාරණය ඉටුවන තෙක් ගතහැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.