Monday, May 6, 2024

General line - 0115112241

පොලිස්පතිට සහ උසස් නිලධාරීන් 5 දෙනෙකුට මානව හිමිකම් කොමිසමේ පෙනී සිටින්නැයි නියෝග




රඹුක්කන නගරයේ ඉකුත් දා පැවැති විරෝධතාව පාලනය කිරීම අතරතුර විරෝධතාවට එක්වූ ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර ඇතිවු ගැටුම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

 ඒ සඳහා අධ්‍යක්‍ෂවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු, නීති නිලධාරියෙකු සහ මානව හිමිකම් නිලධාරියෙකු ඇතුළු විශේෂ කණ්ඩායමක් මේවනවිටත් රඹුක්කන ප්‍රදේශය වෙත පිටත්කර යවා ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ. 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සඳහා පොලිස්පතිවරයා, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ කෑගල්ල සහ රඹුක්කන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට හෙට පෙරවරු 11 ට සිය ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බවයි මානව හිමිකම් කොමිසම සඳහන් කළේ. 

මීට අමතරව රඹුක්කන ප්‍රදේශයේ හටගත් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාව පදනම්ව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රජය වෙත නිර්දේශ නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවද මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.