Monday, May 6, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා මියගිය පිරිස් සිහිකර රට පුරා විශේෂ දේව මෙහෙයන්




මෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරමින් එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින් සිහිකර අද පෙරවරුවේ දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් පැවැත්වුණා. එහි ප්‍රධාන දේව මෙහෙය සහ සැමරුම පැවැත්වුණේ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදියි. ඒ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. 

එම සැමරුම සදහා සර්ව ආගමික නායකයින්ද එක්ව සිටියා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ පළමු ප්‍රහාරය පෙරවරු 8.45 ට එල්ල වූයේ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයටයි. එම අවස්ථාව සිහිපත් කරමින් අද පෙරවරු 8.45 ට කොච්චිකඩේ දේවස්තානයේදී සීනුව නාද කරමින් මියගිය පුද්ගලයින් සහ තුවාල ලැබූවන් සිහිපත් කෙරුණා. 

අනතුරුව ඔවුන් වෙනුවෙන්  විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්ද පැවැත්වුණා. කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ අද පැවති ප්‍රධාන සැමරුම සදහා පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන් අයත් රටවල තානාපති නිලධාරීන්ද එක්ව සිටියා. 
විනාඩි 02 ක නිශ්ශබ්දතාවයෙන් අනතුරුව පළමුව සිදුකෙරුණේ පාස්කු ප්‍රහාරය හමුවේ මීට වසර 03 කට පෙර මිය ගිය පිරිස් සිහිපත් කරමින් පහන් දැල්වීමයි.  

ඉන් අනතුරුව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහ ලේකම් මහාචාර්ය පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියන් සැමරුම් උත්සවය ඇමතුවා. 

මෙම සැමරුමට එක් වූ ෂෙයික් අබ්දුල්ලා අබ්දුල් රහාමන් දේශකතුමන් ද එහිදී අදහස් පළ කළා.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉන් අනතුරුව සැමරුම් උත්සවය ඇමතුවා. උන්වහන්සේ එහිදී සදහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට නඩු පැවරීම් සිදුනොකිරීම නින්දා සහගත බවයි. 

පාස්කු ප්‍රහාරයේ ඇතැම් සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ද පැහැදිළි සැකයක් මතුව ඇති බවයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළේ. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වැඩි පිරිසක් මියගිය කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී ද අද පස්වරුවේ තවත් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.