Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්දියානු හා ඉන්දුනීසියානු ඖෂධ සතියකින් ශ්‍රී ලංකාවට




මාස කිහිපයක් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව තිබු ඖෂධ සහ ශල්‍ය උපාංග සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට හැකි වී තිබෙනවා. එලෙස ණයවර ලිපි විවෘත කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 19 යි දශම 2 කට අදාලව ඖෂධ 186ක් සඳහාත්, යුරෝ එක් ලක්ෂ 75,000 කට අදාල වන ඖෂධ සහ ශල්‍ය උපාංග 12 ක් සඳහාත්, ශ්‍රී ලංකා රුපියල් බිලියන 3යි දශම 7 කට අදාල වන ඖෂධ, ශල්‍ය උපාංග සහ වෛද්‍ය පාරිභෝජක ද්‍රව්‍ය 73 ක් සඳහායි. 

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ ඉන්දියානු රජය පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් ලබන බදාදා මෙරටට පැමිණෙන බවයි. එමෙන්ම ඉන්දුනීසියානු රජය ලබා දුන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 340 ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයද සතියක් ඇතුලත ශ්‍රී ලංකාවට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන අමෙරිකානු ඩොලර් මිලියන 1 යි දශම 3 යි 7 වෛද්‍යාධාර මැයි මස පළමු සතියේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. තායිලන්ත රජය ලබා දෙන ශ්‍රී ලංකා රුපියල් මිලියන 340 වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග ද මැයි මස පළමු සතියේ ශ්‍රී ලංකාවට ලැබීමටයි නියමිතව ඇත්තේ. සිංගප්පූරු රතු කුරුස සංවිධානය ද ශ්‍රී ලංකා රුපියල් මිලියන 340 වටිනා ඖෂධ, ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දෙන බව තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මෙලෙස ඖෂධ තොග මෙරටට ලැබීමට නියමිතව ඇත්තේ රට තුළ දැඩි ඖෂධ හිඟයක් මතුව ඇති පසුබිමකයි. පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය පවසන්නේ මෙරට පෞද්ගලික රෝහල්වල සහ ඔසුසැල්වල අද වනවිට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76 ක දැඩි හිගයක් පවතින බවයි. 

ශල්‍යකර්ම සඳහා භාවිත කරන ඖෂධ, නිර්වින්දන ඖෂධ මෙන්ම ප්‍රතිජීවක ඖෂධ හා පිරිටන් ද ඒ අතරට අයත්. කෙසේවෙතත් මුදල් අමාත්‍ය අලි සබ්රි පැවසුවේ මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 21 යි දශම 7 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බවයි.