Monday, May 6, 2024

General line - 0115112241

විරෝධතා මඩින්න අලුත් උපකරණ ගෙනාවද - පොලීසිය උත්තර දෙයි




රට ආර්ථික අර්බුදයක සිටින මොහොතක උද්ඝෝෂණ සහ විරෝධතා ආශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිළධාරීන්ට අලුතින් උපකරණ ලබා දීමක් සිදු කර ඇතිද ? මේ දිනවල සමාජ මාධ්‍ය වල වැඩි වශයෙන් කතා වන මාතෘකාවක්. 

ඇතැම් වාර්තාවල දැක්වුණේ පොලිස් නිළධාරීන්ට අලුතින් හිස් ආවරණ, බැටන් පොලු, කදුළු ගෑස් සහ කදුළු ගෑස්වලින් ආරක්ෂා වීමට භාවිත කරන මුහුණු ආවරණ ලබා දී ඇති බවයි. ඒ පිළිබද සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ අලුත් උපකරණවල ආවරණ ඉවත් කර පොලිස් නිළධාරීන් භාවිතයට ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප ගෙන හැර දක්වමින්. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ මෙම සියළු අලුත් උපකරණ 2017, 2018 යන වසරවල මෙරටට ආනයනය කළ ඒවා බවයි. භාවිතයට ගෙන නොතිබූ මෙම උපකරණ පවතින තත්ත්වය මත මේ දිනවල භාවිතයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා. 

ඒ අනුව අලුතින් කිසිදු උපකරණයක් ආනයනය නොකළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව තහවුරු කළා.