Monday, May 6, 2024

General line - 0115112241

රාමසාන් දිනය අදයි - පරිත්‍යාග ශිලීත්වයට නැඹුරු වන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම්




ලොව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමතුන් සමග එක්ව මෙරට ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් දිනය සමරනවා. මාසයක කාලයක් මුළුල්ලේ උපවාස සීලය රැක එය අවසන් කර සිය විශ්වාසයන්ට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම ඉස්ලාම් බැතිමතුන් මෙම දිනයේදී සිදුකරනු ලබනවා. ඊද් උල් ෆිතර් උත්සවය හෙවත් රාමසාන් උත්සවයේ වැදගත්කම පිළිබඳ කරුණු දැක්වූ සමස්ථ ලංකා ඉස්ලාමීය ආගමික වියතුන්ගේ සභාවේ මහ ලේකම් අෂේක් අර්කම් නූරාමිත් මව්ලවිතුමා. 

සමගිව රැස්වීම, සාමූහික සම්මුති, පරිත්‍යාගය, අයහපතින් මිදීම, යහපතෙහි යෙදීම, ඔවුන් ඔවුන් අතර පවතින සමාජ ප්‍රගමනයට හේතුවනු ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ රාමසාන් දින පණිවිඩයේ දැක්වෙන්නේ. එකී යහපත් සිතුවිලි සියලුදෙනා කෙරෙහි පැතිරවිය යුතුයි. සියලු ආගමික ශාස්තෘවරයන්ගේ දර්ශනය විමුක්තිය උදාකර ගැනීම පිළිබඳ පදනමක පිහිටා තිබෙනවා. 

ඉස්ලාමීය දර්ශනයෙහි ඇති රාමසාන් සැමරුම ඇතුළු ඇදහීම් මගින් දෙන පණිවිඩය සමාජීය යහපැවැත්ම උදෙසාම යෙදවීමෙන් එකිනෙකා අතර අවබෝධය වර්ධනයට හේතුවූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එමගින් අන්තර් ආගමික සමාජයීය සංස්කෘතික අවබෝධය තහවුරු කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ආගම විසින්ම උගන්වන සමාජ ධර්මතා සමාජ යහපතට හේතුවන ලෙස යොදා ගැනීමට සියලුදෙනාට වගකීම් පවතිනවා. 

ශ්‍රී ලාංකීය ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ලෝකවාසී සියලු ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රාමසාන් මංගල්‍යයෙන් පසුව එළඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ රාමසාන් දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. 

අල්කුරානයට අනුව රාමසාන් උපවාසය හා බැඳුනු උතුම් ගුණාංගයන් අනුගමනය කොට එම උපවාස කාලය සාර්ථකව අවසන් කළ ඉස්ලාමීය බැතිමතුන්ට එහි අධ්‍යාපනික හරය සමාජගත කිරීමට දැන් අවස්ථාව උදාවී ඇතැයි යන්න සිය විශ්වාසය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මුළුරටම අභියෝගාත්මක කාලයකට මුලපුරා ඇති මෙම වකවානුව තුළ සමාජයේ අනෙකුත් පුද්ගලයන් පිළිබඳ සංවේදී වෙමින් පරිත්‍යාගශීලීත්වය කෙරෙහි සිත නැඹුරු කරන්නැයි සැමගෙන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ රාමසාන් දින පණිවිඩයේ දැක්වෙන්නේ. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද රාමසාන් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. කුසගින්නේ පෙළෙන ජනතාව විඳින පීඩාව කෙබඳුදැයි අවබෝධ කර ගැනීමටත්, ඒ පිළිබඳ සංවේදී සිතින් පරිත්‍යාගීලි ජිවිතයකට යොමු වීමටත්, සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත්, රාමසාන් උපවාස සමය අගනා අවස්තාවක් බව එහි සඳහන්. දයාබරත්වයෙන් අප්‍රමාණ සහෝදරත්වයෙන්, සහනශීලි පිළිවෙත මුල් කොට ගනිමින් උදාර මාතෘ භූමියක් ගොඩනැගීම උදෙසා වූ අධිෂ්ඨානය සහිත රාමසාන් දිනයක් වේවායි එහි වැඩිදුර සඳහන්. 

දුර අතීතයේ සිට මානව සංස්කෘතික හර පද්ධතියකින් අගතැන්වන රාමසාන් උත්සවය සකල ලෝක වාසී ඉස්ලාම් බැතිමතුන්ට අධ්‍යාත්මික සුවය නොමදව දැනෙන එකක් වේවායි ප්‍රාර්ථනය කරන බවයි මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි නකුත් කළ රාමසාන් දින පණවිඩයේ දැක්වෙන්නේ.  රාමසාන් උත්සවයෙන් උත්තුංග මානව ගුණයන්ගෙන් මුළු මිහිතලයම ප්‍රභාමත් වේවායි ප්‍රාර්ථනා කරන බව ද එහි වැඩිදුරටත් සඳහන්.