Monday, May 6, 2024

General line - 0115112241

යුක්රේනයේ මරිපෝල් නගරයේ කර්මාන්තශාලාවක සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමට රුසියානු හමුදාවෙන් බාධා




යුක්රේනයේ මරිපෝල් නගරයේ පිහිටි වානේ කර්මාන්ත ශාලාව තුළ සිරවී සිටින සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අසීරු වී තිබෙනවා. ඒ, අදාළ ප්‍රදේශයට රුසියාව අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්. එම කර්මාන්ත ශාලාව තුළ සිරවී සිටින පුද්ගලයින්ගෙන් 100 දෙනෙකු  පමණ මුදා ගැනීමට යුක්රේන හමුදාව ඊයේ සමත්වුණා. 

එහෙත් රුසියානු හමුදාව අදාළ වානේ කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග මුදා ගැනීමේ කටයුතු අතර මග නවතා දැමීමට සිදුව ඇති බවයි යුක්රේන හමුදාව පවසන්නේ. තවත් විශාල පිරිසක් එම කර්මාන්තශාලාව තුළ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

එම කර්මාන්තත ශාලාව තුළ යුක්රේන හමුදා භටයින් පිරිසක් ද රැඳී සිටිනවා. ඔවුන් පවසන්නේ කර්මාන්තශාලාව තුළ සිටින සිවිල් වැසියන් මුදා ගැනීමට හෝ තමන්ට ඉන් පිටතට පැමිණීම හෝ මේ මොහොතේ කිසිසේත් සිදුකළ නොහැකි බවයි. 

කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයට මිනිත්තු 05 කට වරක් වැනි කාලයක් තුලදී දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල වන බව ද ඔවුන් සඳහන් කළා. එලෙස සිරවී සිටින සිවිල් වැසියන් හා යුක්රේන හමුදා භටයින් ආහාර හා පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවයි පැවසෙන්නේ. 

කිසියම් හෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් අදාළ කර්මාන්තශාලාවෙන් පිටතට පැමිණීමට උත්සහ කළහොත් එම අවස්ථාව භයානක තත්ත්වයක් වනු ඇති බව අදාළ කර්මාන්තශාලාව තුළ සිටින පිරිස් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අනාවරණ කළා.