Sunday, May 5, 2024

General line - 0115112241

වැඩි මිලට සහල් අළෙවි කරන ස්ථාන සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය අද සිට වැටලීම් අරඹයි




පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳසැල් වැටලීම අද සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ නඩු පැවරීමකදී වරදකරු වන තනි පුද්ගල ව්‍යාපාරයකට අවම රුපියල් ලක්ෂයක හා උපරිමය රුපියල් ලක්ෂ 5 ක දඩයක් අධිකරණයට නියම කළ හැකි බවයි. 

පුද්ගලික සමාගමක් පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළහොත් රුපියල් ලක්ෂ 5 ත්, රුපියල් මිලියන 5 ත් අතර දඩ මුදලක් නියම කිරීමට අධිකරණයට බලය ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා. 

දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ පෙරේදා සිට බලපැවැත්වෙන පරිදියි. එම ගැසට් නිවේදනයට අනුව සුදු සහ රතු නාඩු සහල් කිලෝවකට රුපියල් 220 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. සුදු සහ රතු සම්බා දේශීය සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 230 ක්. දේශීය කීරි සම්බා කිලෝ 01 ක් සඳහා රුපියල් 260 ක උපරිම සිල්ලර මිලක් එම ගැසට් නිවේදනයෙන් නියම කර තිබෙනවා. 

මේ අතර සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ යල කන්නයේ අස්වැන්න අඩුවිය හැකි බැවින් මිල පාලනයක් මගින් වෙළඳපලේ සහල් මිල පාලනය කිරීමට නොහැකි වනු ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න.