Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින දෙකක් ගතවන බව සංස්ථාව කියයි




ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය යථාතත්ත්වයට පත්කිරීම සඳහා තවත් දින 02ක් පමණ ගතවනු ඇතැයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දින කිහිපයක් සඳහා භාවිතයට රට තුළ දැනට පවතින ඩීසල් තොග ප්‍රමාණවත් බවයි. 

එහෙත් පෙට්‍රල් පවතින්නේ සීමිත තොගයක් පමණක් බව ද එම ප්‍රකාශකයා පැවසුවා. කෙසේවෙතත් ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් තොග රැගත් ඉන්ධන නෞකාවක් මෙරට මුහුදු සීමාවට ආසන්නයේ පවතිනවා. එය නිදහස් කර ගැනීම සඳහා මෙතෙක් මුදල් ලැබී නොමැති බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසුවේ සියලුම ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා යොමු කෙරුණ ද ඒ සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් නොලැබෙන බවයි.  ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ ලේකම් ඩී වී ශාන්ත සිල්වා.

මේ අතර ඉන්ධන නොමැති වීමෙන් ඇතැම් පිරවුම්හල් ඊයේ දිනයේද වසා දමා තිබුණා. ඉන්ධන නිකුත් කළ පිරවුම්හල් ආශ්‍රිතව ඊයේ දිනයේද දිගු පෝලිම් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා පිරිසක් කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගය බෝකුන්දර ප්‍රදේශයෙන් අවහිර කරමින් ඊයේ රාත්‍රියේ විරෝධතාවයක ද නිරත වුණා. මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව රථ වාහන තදබධයක් ද පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.