Sunday, May 5, 2024

General line - 0115112241

ජවිපෙන් එල්ල කළ චෝදනාව ගැන කබ්රාල් පිළිතුරු දෙයි




ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තමන් සම්බන්ධයෙන් සිදුකළ චෝදනාව අසත්‍ය බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. 

“රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ දූෂණ විරෝධී හඬ සංවිධානය ඊයේ කොළඹදී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සිදුකළ බව කියන දූෂණ ගණුදෙනු රැසක් පිළිබඳ අනාවරණය කෙරුණා. 

එහිදී නිසි අනුමැතියකින් තොරව එක්සත් ජනපද CIA නියෝජිතයෙකු වන ඉමාද් සුබේරි තැනැත්තාට අමෙරිකානු ඩොලර් මිලියන 6 යි දශම 5 ක මුදලක් 2014 වසරේදී ගෙවා ඇති බවට ද අනාවරණ කළා. 

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙන්නේ 2014 වසරේදී මහ බැංකුව විසින් මෙම ගෙවීම් සිදුකර ඇත්තේ රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත බවයි. එය තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදු කර නොමැති බව ද අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. 

අමෙරිකානු එක්සත් ජනපදයේ සිදුකරන ලද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් මෙම ගෙවීම සිදුකර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. තමන් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් සඳහන් කළා.