Sunday, May 5, 2024

General line - 0115112241

ජනතාව අපහසුතාවයට පත්කරන වර්ජන වලට සහය නොදක්වන බව වෘත්තීය සමිති රැසක් කියයි




පටු දේශපාලන වුවමනාවන් මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වනදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිදු සහයක් ලබානොදෙන බව අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයින් පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී එම වෘත්තිය සමිති සඳහන් කළේ තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි. අපේක්ෂිත වැඩ වර්ජනය සේවක අයිතීන් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාවක් මත සිදු කරන්නක් බව වෘත්තිය සමිති නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව ක්‍රමවේදයන්ට යොමුවීමේ සහ දේශපාලන භේදවලින් ඉවත් වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා. පවතින තත්ත්වය වටහාගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු වෘත්තිය සමිතිවලින් එහිදී ඉල්ලීමක් ද කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.