Monday, May 6, 2024

General line - 0115112241

අගමැති යන තෙක් අන්තර්වාර ආණ්ඩුව මග නවතී




අග්‍රාමාත්‍යවරයා ඉවත් වන තුරු ජාතික ආණ්ඩුව බිහිනොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. මේ හේතුවෙන් රට තවත් අරාජික වන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ. රට ගොඩගැනීමට නම් ජනතාවගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍යවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව මන්ත්‍රීවරයා පැවසුවා.

විදෙස් ණය ලබා ගැනීමට රට තුළ දේශපාලන ස්ථාවරභාවය අත්‍යවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා ද ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සඳහන් කළේ. 

එසේ නම් ජාතික ආණ්ඩුව පිහිටුවීම ප්‍රමාදවී ඇත්තේ මන්දැයි නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගෙන් මෙහිදී විමසා සිටියා.

කෙසේවෙතත් තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේයැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ පැවසුවා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ පවතින බැරෑරුම් තත්ත්වය මේ වන තෙක් රටේ බොහෝ පාර්ශවයක් තේරුම් ගෙන නොමැති බවයි. 

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මුදල් අමාත්‍ය අලී සබ්රි පැවසුවේ නිසි වැඩ පිළිවෙලක් නොමැති වුවහොත් පවතින අර්බුදය තවත් වසර කිහිපයක් පවතිනු ඇති බවයි. 

1981 වර්ෂයේ සිට රජයේ දළ දේශීය ආදායමෙන් සීයයට 24 ක් 23ක් ලෙස පැවති බදු අදායම් මේ වන විට සීයයට 8 යි දශම 6ක් දක්වා අඩුවී ඇති බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ. 

මේ වන විට රජය විසින් ගෙවීමට ඇති සමස්ත විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 51ක්. අද වන විට භාවිත කළ හැකි මෙරට විදේශ සංචිතය ඩොලර් මිලියන 50 කටත් වඩා අඩු බව මුදල් අමාත්‍ය අලී සබ්රි වැඩිදුරටත් පැවසුවා.