දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය හෙට උදෑසන 07 දක්වා දීර්ඝ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රධානය කරන ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුටත් අවසර හිමි නොවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මේ අතර ඉකුත් 09 වනදා සිට ඊයේ උදෑසන දක්වා දිවයින පුරා ඇතිවූ කලහකාරී හා ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පොලීසිය විශේෂ වාර්තාවක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ උදෑසන 06 දක්වා කාලය තුළ ඇතිවූ සිද්ධීන්වලින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්, ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් සැරයන්වරයෙකු ද මියගිය පිරිස අතරට අයත්. එම කාල සීමාව තුළ නිවාස 38 කට සහ වාහන 47 කට ගිනිතබා ඇති බවයි පොලීසිය පැවසුවේ. තවත් නිවාස 65 කට සහ වාහන 41 කට හානි සිදුකර ඇති බවට ද එම වාර්තාවේ දැක්වෙනවා.
එම සිද්ධීන් අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම පළාතෙන් වාර්තා වී ඇති සිද්ධීන් ගණන 75 ක්. සබරගමුව පළාතෙන් සිද්ධීන් 26 ක් සහ දකුණු පළාතෙන් සිද්ධීන් 23 ක් වාර්තා වී ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංගගේ කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසකට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ඊයේ රාත්‍රියේ පහරදී තිබෙනවා. කොළඹ කොටුව ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැල් 02 ක් බිඳ ඒවායේ තිබූ මත්පැන් බෝතල් කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බව ද වාර්තා වුණා.