Monday, May 6, 2024

General line - 0115112241

තේ වෙන්දේසියට ඩොලර් ගෙන ඒමට පෙර නිෂ්පාදනය වැඩි කිරීමට පහසුකම් දෙන්න - තේ අපනයනයනකරුවන් ජනපතිට කියයි




තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදුකරීම ප්‍රායෝගික නොවන බව තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ මේ වන විට තේ අපනයනය සියයට 20කින් පමණ පහල ගොස් ඇති බවයි. ඊට හේතු වී ඇත්තේ පොහොර ගැටළුව හේතුවෙන් තේ නිෂ්පාදනය ද සැළකිය යුතු ලෙස පහල යාම බවයි තේ අපනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ. 

තේ අපනයනයේ දී අපනයනකරුවන් වෙත මුදල් ලබා දීම සඳහා දින 180ක කාලයක් ගැණුම්කරුවන්ට හිමි වනවා. එහෙත් තේ වෙන්දේසියෙන් අපනයනකරුවන් තේ ලබා ගැනීමේ දී වෙළදුන්ට මුදල් ලබා දීම සඳහා හිමි වන්නේ සතියක කාලයක් පමණයි. ඊට අමතරව සේවා සැපයුම්කරුවන් කිහිපදෙනෙකු සදහා ඩොලර්වලින් ගෙවීම අත්‍යාවශ්‍ය වන බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ. 

ඒ අනුව, තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදුකළහොත් ගෙවීම් සදහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීම දුෂ්කරවනු ඇති බවයි තේ අපනයනකරුවන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ. 

මෙරටට ඩොලර් වැඩිපුර ප්‍රමාණයක් ගෙන ඒමට නම් කළ යුත්තේ තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදුකිරීම නොව, තේ නිෂ්පාදනය වැඩි කිරීම සදහා අවශ්‍ය පහසුකම් සැලසීම බවයි තේ අපනයනකරුවන්ගේ සංගමය මෙහිදී ප්‍රකාශ කළේ. 

මෙරට තේ වෙන්දේසිය සදහා 300ක පමණ තේ අපනයනකරුවන් පිරිසක් සහභාගී වනවා. එම වෙන්දේසිය පැවැත්වෙන්නේ සෑම සතියකම අඟහරුවාදා සහ බදාදා දිනවලයි. මෙරට තේ නිෂ්පාදනයෙන් සියයට 80ක් පමණ අපනයනය සිදුකරනවා. ඒ, ලොවපුරා රටවල් 40කට ආසන්න සංඛ්‍යාවක් සඳහායි.