Monday, May 6, 2024

General line - 0115112241

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළ හේතුව ඇමති හෙළි කරයි




පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලසුම් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහාය නොදක්වන බැවින් විදුලි බල ගාස්තු වැඩි කිරීමේ ඉල්ලීම තමන් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් නොකළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

සිය වැටුප් වැඩිකර ගැනීමට විදුලි ගාස්තු වැඩි කරනවා වෙනුවට විදුලිබල මණ්ඩලය විසින් විදුලි උත්පාදන පිරිවැය අඩු කර ගැනීම සඳහා වන පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ඉදිරියට සිදුකරගෙන යෑමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ.

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සෑම වසර 03 කට වරක් සීයයට 25කින් ඉහළ දැමිය යුතු බවට වන සාමුහික ගිවිසුමක් පවතින බවයි ඇමතිවරයා සඳහන් කළේ.

පුනර්ජනනීය බලශක්තිය හෝ උත්පාදනයේ පිරිවැය අඩු කිරීම සඳහා කිසිදු සැලසුමක් නොමැතිවීම නිසා වැටුප් සහ විදුලි උත්පාදනය සඳහා වන අධික පිරිවැය විදුලි පාරිභෝගිකයින් මත පැටවෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම තත්ත්වය වෙනස් කළ යුතු බවත් එයට සුදුසු කාලය මෙය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.