Monday, May 6, 2024

General line - 0115112241

දින 6කට ප්‍රමාණවත් ගෑස් නෞකාවක් දිවයිනට




මෙට්ට්‍රික් ටොන් 3,900 ක් රැගත් ගෑස් නෞකාවක් අද දිනයේ දිවයිනට පැමිණි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම ගෑස් තොගය සදහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් ගෙවීමට නියමිතව ඇති බවත් ගෑස් තොගය ගොඩබෑම සඳහා එම මුදල ගෙවීමට සැලසුම් කර ඇති බවත් ලිට්‍රෝ සමාගම සදහන් කළා. දිවයිනට පැමිණි නෞකාවේ ගෑස් තොගය දින 6 කට ප්‍රමාණවත්.

මේ අතර අද දිනයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළදපොලට නිකුත් නොකරන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලදී ගැනීමට පෝලිම්වල රැදී නොසිටින ලෙස ද ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කළා. එහෙත් අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සදහා බොහෝ ස්ථානවල ජනතාව පෝලිම්වල රැඳී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර දැනට බෙදාහරින ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් අද දිනයේ සිට ඩීසල් සහ පෙට්‍රල් බෙදාහරින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කළා. එහෙත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල තවදුරටත් පෝලිම් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ඇණවුම් කළ ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් වසා දමා තිබුණා.