Sunday, May 5, 2024

General line - 0115112241

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි (UPDATE)




පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින  ගමගේ මහතා වෙත භාර වී තිබෙනවා.

....................

අද රෑ 8ට පෙර අධිකරණයට භාර වෙන්නැයි ජෝන්ටන්ට නියෝගයක් 

(09-06-2022 03:06)

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියම කළා. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එතෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මෙම රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අධිකරණයට ඉදිරිපත් වන තෙක් ඔහු සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසත් අභියාචනාධිකරණය විසින් මහේස්ත්‍රාත්වරයාට නියම කළා.

අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම ජුනි 21 වනදා යලි කැඳවන ලෙස ද අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම කැදවූ අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා සැකකරුවකු ලෙස නම් කරමින් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා වග උත්තරකරුවන් ගනු ලබන ප්‍රයත්නය මුලුමනින්ම නීතියට පටහැනි බව සඳහන් කළා.

" ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම" අරගල වලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මුලින්ම කරුණු වාර්තා කළා. එම වාර්තා වල මාගේ සේවාදායකයා මෙම පහරදීම් වලට සම්බන්ධ වූ බවට කරුණු ඉදිරිපත් කර තිබුණේ නැහැ. එසේ තිබියදී පොලීසිය මාගේ සේවාදායකයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගත්තා. 

ඉන් අනතුරුව කුමන්ත්‍රණය, නීතිවිරෝධී ජනරාශිය, බියගැන්වීම ඇතුළු චෝදනා යටතේ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළා. පහරදීම සිදු වූ දින අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීල් ප්‍රනාන්දු සහ ගුණදාස පෙරේරා යන මනෝවිද්‍යා වරුන්ගේ මතයක් ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. 

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා වරදක් සිදු කර ඇතැයි වැරදි සහගත ලෙස අධිකරණය නොමග යවමින් පොලීසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා."යනුවෙන් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සිද්ධිය වූ දින අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදු කළ ප්‍රකාශය තුළි ප්‍රචන්ඩත්වය උත්සන්න කිරීමට ඉවහල් වන කරුණු කිසිවක් ඇතුලත් නොවූ බව සඳහන් කළා.

" අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු කථාවක් සිදු කර තිබෙනවා. ඒ තුළින් ඔහු අවධාරණය කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස් නොවන ලෙස බල කිරීම පමණයි. ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලීමක් කර තිබු බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වුණා. එම කථාවෙන් ඔහු ජනාධිපතිවරයා විවේචනය කර තිබෙනවා. මේ ගැටලුව සාකච්ඡා කර විසඳා ගන්නා ලෙස ඔහු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටිනවා.එම ප්‍රකාශය තුළින් ඔහු "සටන" ලෙස සදහන් කර තිබෙන්නේ ජනාධිපති වරයා සමග පැවති සටනයි. ඔහුගේ ප්‍රකාශ තුළ පහර දෙන්න, මරන්න යනාදී වචන කිසිවක් සදහන් වෙලා නෑ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ වරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ මෙම ප්‍රකාශය තුළ ප්‍රචන්ඩත්වය හෝ ප්‍රකෝප කිරීම් සිදු කිරීමට ඉවහල් වන කිසිදු අදහසක් අන්තර්ගත  නොවූ බවත් චෝදනා කළා.

මෙහිදී ඔහු විසින් සිදු කළේ හුදු දේශපාලන ප්‍රකාශයක් පමණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් යටතේ පුරවැසියෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හිමිකමක් තිබෙන බව ද සඳහන් කළා.

මෙම තත්වය යටතේ මාගේ සේවාදායකයා අරගල වලට පහර දීම සඳහා ප්‍රකෝප කිරීම් සිදු කළ බවට චෝදනා නගන්නේ කෙසේදැයි  ප්‍රශ්න කල ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායකයාට එරෙහිව සාධාරණ සැකයක් පවා මතු කල නොහැකි බව පෙන්වා දුන්නා.

මෙම තත්වය යටතේ වරෙන්තුවක් ඇතිව හෝ නැතිව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සදහා නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරණ වෑයම නීතියේ මූලික සිද්ධාන්තයන්ට පටහැනි ක්‍රියාවක් යැයි ද ඔහු චෝදනා කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘෘ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව තර්ක කළා.

" ස්වාමීනි... මෙම පෙත්සම්කරු අත් අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. තම සේවාදායකයා අත් අඩංගුවට ගැනීම සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බව ඔහුගේ නීතිඥ වරයා ප්‍රකාශ කළා. එහෙත් එම කරුණු මුලින්ම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමා මුලින්ම ඉදිරිපත් කළ යුත්තේ. ඔහුට අධිකරණයට භාරවී වරෙන්තුව ආපසු කැඳවීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත්වරයාගේ නියෝග වැරදි නම් මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමටත් ඔහුට අවකාශ තිබෙනවා. එම නීතිමය පටිපාටින් මගහැර පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඍජුවම රිට් පෙත්සමක් මගින් අභියාචනාධිකරණය හමුවේ සහන පැතීම නරක පූර්වාදර්ශයක්" යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළා.

වැඩි දුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා" මෙම නඩුකරයට අදාලව නීතිපතිවරයා අයුතු මැදිහත් වීමක් සිදු කර නැහැ. විමර්ශන සිදු කොට සෑහීමකට පත්විය හැකි කරුණු අනාවරණය වන්නේ නම් පමණක් පෙත්සම්කරු, සැකකරු වශයෙන් නම් කරන ලෙස පමණයි නීතිපතිවරයා පොලීසිය වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ. ඒ නිසා පෙත්සම තුළින් නීතිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා" යනුවෙන් ඔහු පැවසුවා.

"අපි සටනට ලෑස්තියි" "ජනාධිපති තුමාට බැරිනම් අපිට ඕක බාරදෙන්න." "මේක අපි සුද්ද කරනවා" "අපි ඉවසුවා ඇති" යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. ඔහු එහිදී සදහන් කර තිබෙන්නේ මැතිවරණයකදී ඇතිවන සටනක් ගැන නෙවෙයි. "අවසන් කරනවා" යනුවෙන් ප්‍රකාශ කර තිබෙන්නේ අරගලය අවසන් කිරීමයි. මේවා විවාදයට තුඩු දෙන ප්‍රකාශ. මෙම කරුණු සම්බන්ධයෙන් හබ කල හැක්කේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පමණයි. රිට් පෙත්සමකින් මෙවැනි කරුණු අභියෝගයට ලක් කරන්න බැහැ. මහේස්ත්‍රාත් අධිකරණයට පමණයි මෙම ප්‍රකාශවල අපරාධමය ස්වභාවය නිර්ණය කල හැක්කේ." යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එබැවින් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් රියෙන්සි අර්සකුලරත්න සහ සරත් ජයමාන්න යන ජනාධිපති නීතිඥවරු කරුණු ඉදිරිපත් කළා.

සියලු කරුණු සලකා බැලූ අධිකරණය අනතුරුව මෙම නියෝග නිකුත් කළා.