Friday, May 10, 2024

General line - 0115112241

ජාත්‍යන්තරට එරෙහිව කටයුතු කළ හැකි ලෙසට චීනයෙන් නව ක්‍රීඩා නීතියක්




චීනය විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරගාවලි අවතක්සේරු කරනු ලබන හෝ විවේචනය කරන ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්, ආයතන, රාජ්‍ය හෝ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ හැකි ආකාරයට තම ක්‍රීඩා නීතිය වෙනස් කිරීමට චීනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව,  ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව චීන ක්‍රීඩා පනතක් බලාත්මක කිරීමට එරට රජයේ  අවධානය යොමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 මෙලෙස බලාත්මක කිරීමට නියමිත නව ක්‍රීඩා නීතිය අනුව ලෝකයේ ඕනෑම සංවිධානයකට එරෙහි කටයුතු කිරීම හා ඔවුන්ගේ ප්‍රතිචාර අභියෝගයට ලක්කිරීමේ අවසරය චීනය සතු කර ගැනීමට නියමිතයි. 

එරට ජනාධිපති ෂිං ජිං පිං විසින් අදාළ නව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා මූලික අනුමැතිය ලබාදී ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කළා.

පසුගිය වසර කීපය තුළ චීන නායකත්වය මේ ආකාරයෙන් ආන්දෝලනාත්මක නීති කීපයක්ම බලාත්මක කරනු ලැබුවා. 

එරට තුළ කොවිඩ් ව්‍යාප්තිය ශුන්‍ය කිරීම සඳහා වන නීතියක් සකස් කිරීමේ සිට චීනය තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වන්හි විනිශ්චය හෝ සංවිධායකත්වය විවේචනයට ලක්කිරීමේ අවස්ථා ඇහිරීමේ නීතියක් ද ඒ අතර වනවා.