Sunday, May 5, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ට එරෙහි විමර්ශනයක් ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට ග්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි




නිසි කළමනාකරණයකින් තොරව අදූරදර්ශී ආර්ථික ක්‍රියාමාර්ග අනුගමනය කර රට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව වහාම විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්  සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා. ඒ අනුව එම පෙත්සම් 02 පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මේ මස 27 වනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත්තේ.

එම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරියල එල්ගටීගබීග දෙහිදෙනිය සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය කර තිබෙනවා.

එහිදී අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා විසින් අද දින තුළ සීමිත විරෝධතා ගොනු කරන බවයි. 

එහිදී සෙසු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් වලට අදාළව සීමිත විරෝධතා ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව මෙම පෙත්සම් වලට අදාල සීමිත විරෝධතා මේ මස 15 වනදාට පෙර ගොනු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කෙරුණා. ඊට ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා මේ මස 22 වනදාට පෙර ගොනු කරන ලෙසයි විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ. 

ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු තිදෙනෙකු විසින් එම එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණාග වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්නල පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිංල ජෙහාන් කනේගරත්න සහ  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම්වල වගඋත්තකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, හිටපු මුදල් අමාත්‍ය හා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වත්මන් මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, අලි ෂබ්රි, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල, ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් පවසන්නේ වගඋත්තරකරුවන් විසින් අනුගමනය කළ අදුරදර්ශී සහ අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වී රට බංකොලොත් භාවයට පත්ව තිබෙන බවයි. ඒ තුළින් වග උත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි එම පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ.