Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති මැදුරෙන් සොයාගත් මුදල් ඇමතිවරයෙකුට දෙන්නැයි උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කොටුව පොලීසියට බලපෑම්




කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලිස් ස්ථානය වෙත භාරදුන් රුපියල් මිලියන 17 හමාරක මුදල අමාත්‍යවරයෙකුට භාරදෙන ලෙසට ඉහළ පොලිස් නිලධාරියෙකු කළ ඉල්ලීම පොලීසිය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. අරගලයේ නිරතවූ සාමාන්‍ය ජනතාවගෙන් පිරිසක් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එම මුදල සොයා ගැණුනා. 

පසුව එම මුදල  ජනාධිපති මන්දිරයේ එම අවස්ථාවේ සේවයේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිෂේද ප්‍රනාන්දු වෙත භාරදීමටයි එම පිරිස තීරණය කළේ. එහෙත් එම මුදල තමන් විසින් භාරගැනීම නීත්‍යානුකූල නොවන බැවින් එය කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසට එම පොලිස් නිලධාරියා නිහතමානී ලෙස අරගලයේ නිරතව සිටි එම සාමාන්‍ය ජනතාවට පවසා තිබෙනවා.

පසුව අදාළ පිරිස විසින් රුපියල් මිලියන 17 හමාරක් වන එම මුදල කොළඹ කොටුව පොලිස් ස්ථානයට භාරදී තිබුණා. අනතුරුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර ලියනගේ එම මුදල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලියවිලිවලට අදාළ කටයුතු එම මොහොතේම සිදුකර තිබෙනවා. ඔහු විසින් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මුදල් සොයාගත් ස්ථානයට කඩිනමින් පිටත් කර එම ස්ථානයේ ඡායාරූප ගැනීමටත්, මුදල් භාරදුන් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත් කටයුතු කර තිබුණා. 

එවන් පසුබිමක් තුළ කොටුව ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් අදාළ මුදල කැබිනට් අමාත්‍යවරයෙකුගේ නමක් සඳහන් කර ඔහුට භාරදෙන ලෙසට පොලීසියේ උසස් නිලධාරියෙකු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. තමන් එම මුදල අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා අවශ්‍ය කටයුතු සලසා ඇති බැවින් එලෙස මුදල් අන්සතු කිරීමට නොහැකි බව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා, අදාළ උසස් පොලිස් නිලධාරියා වෙත පවසා තිබෙනවා. 

එසේ වුවත් එම මුදල අදාළ අමාත්‍යවරයා වෙත භාරදෙන ලෙසට එම උසස් පොලිස් නිලධාරියා දිගින් දිගමට පවසා ඇති බවයි වාර්තා වන්නේ. තමන් එම මුදල සම්බන්ධයෙන් නීත්‍යානුකූලව පියවර ගන්නා බැවින් එලෙස කිසිවෙකුටත් එම මුදල ලබානොදෙන බව කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා, අදාළ උසස් පොලිස් නිලධාරියා වෙත අවධාරණය කර ඇතැයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.