Sunday, May 5, 2024

General line - 0115112241

අගමැතිගේ නිවසට ගිනි තැබූ සැකකරුවන් 3 ක් අත්අඩංගුවට




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ ඔවුන් ගල්කිස්ස, ජාඇල සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ කොල්ලුපිටිය නිවසට ඊයේ රාත්‍රි 9 ට පමණ කිසියම් පිරිසක් විසින් ගිනි තැබූ අතර එය පාලනය කිරීමට හැකි වූයේ අද අලුයම 5 ට පමණයි. ඊට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරුවා. ඒ සඳහා ගිනි නිවන භටයින් 30 ක් සහ ගිනි නිවීමේ රථ 04 ක් යෙදවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ. කෙසේවෙතත් ගිනිනිවීමේ රථයකට එම ස්ථානයට ලගාවීම වැළැක්වීමේ අරමුණින් කසියම් පිරිසක් එක් රථයකට හානි සිදුකර තිබුණා.

ගින්න හටගත් අවස්ථාවේ නිවස තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිද වන මෛත්‍රී වික්‍රමසිංහ රැදී සිට තිබෙනවා. අහසට වෙඩි තබා ඇය නිවසින් පිටතට ගැනීමට යුද හමුදා නිලධාරී දැඩි පරිශ්‍රමයක් යොදා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවේ නිවසේ රැදී සිට නැහැ. ඒ, පස්වරුවේ රාජකාරී කටයුත්තක් සදහා නිවසින් බැහැරට ගොස් තිබීම හේතුවෙන්.

අග්‍රාමාත්‍යවරයා නිවසේ තිබූ බොහෝ වටිනා දේ මෙන්ම දේපළවලට ගින්නෙන් දැඩි හානි සිදුව තිබුණා. එම නිවසේ පුස්තකාලයේ තිබූ පොත් රැසක්ද ගින්නෙන් විනාශ වී තිබෙනවා. සිය පුස්තකාලයේ තිබූ එම පොත් සමග සිය නිවස අනාගතයේදී කොළඹ රාජකීය විද්‍යාලයට භාරදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු සම්පාදනය කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෛත්‍රී වික්‍රමසිංහද තමන් සතු බොහෝ දේ ඔවුන් යටතේ සේවය කරන පිරිසට මෙන්ම දූගි ජනතාවට ද මීට පෙර ලබාදී තිබෙනවා. ඇය සතුව තිබූ රත්රන් භාණ්ඩද ඊට අයත් බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ හටගත් ගින්නෙන් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ සුරතල් සුනඛ පැටවා මියගොස් තිබෙනවා.