Monday, April 29, 2024

General line - 0115112241

මහින්ද සහ බැසිල්ට අධිකරණයෙන් වාරණ නියෝගයක්




හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ  යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළා. ඒ, ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදියි. ඒ, වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමකට අදාළ මෝසමක් අද කැඳවූ අවස්ථාවේදීයි. 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරුණා. 

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් අද දින වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පැවසුවේ 2020 වසරින් පසුව මෙරට තුළ විදේශ ණය ගෙවීම සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් ඇති වූ බවයි. පාලකයින් එය උපහාසයට ලක් කරමින් එවැනි අර්බුදයක් නොමැති බව සඳහන් කළේයැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා වත්මන් පාලකයින් විසින් බලයට පැමිණි විගස ප්‍රදානය කළ බදු සහන හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව ද පෙන්වා දූන්නා.

ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙස ආර්ථික විශේෂඥයින් පෙන්වා දුන්නද හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු රජය එවැනි පියවරක් ගැනීම අනවශ්‍ය බවත් රටේ ආර්ථික අර්බුදයක් නොමැති බව අත්තනෝමතික ලෙස අවධාරණය කළේ යැයි ද ජනාධිපති නීතිඥවරයා එහිදී කියා සිටියා. 

කොවිඩ් වසංගතයෙන් පසුව පවා ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, පිලිපීනය, පාකිස්තානය, මාලදිවයින වැනි රටවල පවා විදේශ සංචිත කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ ගොස් තිබු බවත් කොවිඩ් ව්‍යප්තිය නිසා මෙරට තුළ වත්මන් ආර්ථික අර්බුදය මතු වූ බව  පාලකයින්ට ප්‍රකාශ කළ නොහැකි බවත් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර එහිදී සඳහන් කළා. එබැවින් මෙම පෙත්සම සලකා බලන තෙක් හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ යන අය අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන අධිකරණය හමුවේ කරුණු දැක්වූවා. වත්මන් ආර්ථික අර්බුදයට තම සේවාදායකයින් පමණක් වගකිව යුතු බවට පෙත්සමෙන් එල්ල කර තිබෙන චෝදනා පදනම් විරහිත බවයි ඔහු පෙන්වා දුන්නේ. මහ බැංකුව, පාර්ලිමේන්තුව, රාජ්‍ය නිලධාරීන් සියල්ල සිටියදී තම සේවාදායකයින් පමණක් මෙම තත්ත්වයට වග කියන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන එහිදී ප්‍රශ්න කළා.

රජය විසින් ප්‍රදානය කළ බදු සහන වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් ලෙස චෝදනා කළද එම බදු සහන ප්‍රදානය කළේ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුවයැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය තම සේවාදායකයින්ගේ පුද්ගලික මැදිහත් වීම මත සිදු නොවූ බවත් සඳහන් කළා. නිදහසේ ගමන් බිමන් යාමට ඇති අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් යැයි සදහන් කළ ජනාධිපති නීතිඥවරයා පෙත්සම්කරුවන් ඉල්ලා සිටින විදේශ ගමන් තහනම හරහා තම සේවාදායකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවත් පෙන්වා දුන්නා. 

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ යන අයට ලබන 28 වැනිදා තෙක් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළා. මෙම පෙත්සම් සලකා බැලීම ලබන 27 වන දා සිදු කිරීමටයි එහිදී නියෝග කෙරුණේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන අය ලබන 27 දා තෙක් අධිකරණයේ අවසරයකින් නොමැතිව විදේශ ගතවීමක් නොකරන බවටත් දැනටමත් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.