Saturday, May 18, 2024

General line - 0115112241

තරගයේ වාසිය අත්පත් කර ගන්න අද දිනයේ පළමු පැය තීරණාත්මකයි




සංචාරක පකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද දිනයේ පළමු පැය තීරණාත්මක බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පවසනවා. 

තරගයේ අද දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට නම් පළමු පැයේ පන්දු යැවීම එලෙස තීරණාත්මක බවයි ඔහු සඳහන් කළේ. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවීමෙන් පසු ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිනේෂ් චන්දිමාල් මේ බව සඳහන් කළා. 

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට සිය කණ්ඩායම පළමු ඉනිමේ සිදුවූ අතපසුවීම් නිවැරදි කර ගනිමින් දෙවන ඉනිමට ක්‍රීඩා කළ යුතු බවයි දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් සඳහන් කළේ. 

දෙරට අතර පළමු ක්‍රිකට් තරගය ඊයේ ආරම්භ වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට ක්‍රීඩාංගනයේදීයි. තරගයේ පළමුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 222 ක්. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 76 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ එක් හයේ පහරක් ඇතුළත්. 

සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සංචාරක පකිස්තාන කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 24 ක්. පකිස්තාන කණ්ඩායමේ කඩුළු 02 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊයේ සමත්වුණා. එලෙස දැවී ගිය අබ්දුල්ලා ශෆීක් ලකුණු 13 ක් සහ ඉමාම් උල් හක් ලකුණු 02 ක් රැස් කර සිටියා. කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය එම කඩුළු 02 දවා ගත්තා.