Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් සිව්වෙනි "මන්කි පොක්ස්" රෝගියාත් වාර්තා වෙයි




ඉන්දියාවේ නව දිල්ලි නගරයෙන් පළමුවරට මන්කිපොක්ස් ආසාදිතයෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව ඉන්දියාවෙන් හඳුනාගැණුනු සිව්වන මන්කිපොක්ස් ආසාදිතයා මොහුයි. 31 හැවිරිදි මෙම පුද්ගලයා විදේශීය රටක සංචාරය කර පැමිණි පුද්ගලයෙකු නොවන බවයි දිල්ලි බලධාරීන් පැවසුවේ. 

උණ සහ සමෙහි ඇතිවූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් අදාල පුද්ගලයා මීට දින 2 කට පෙර රෝහල් ගතව තිබුණා. රෝග ලක්ෂණ පිලිබද මතුවූ සැකය හේතුවෙන් සිදුකල පරීක්ෂණවලදී අද අනාවරණ වී ඇත්තේ අදාල පුද්ගලයාට මන්කිපොක්ස් ආසාදනය වී ඇති බවයි. 

කෙසේවෙතත් අදාල පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් ඔහු සුවය ලබමින් සිටින නිසා අනවශ්‍ය ලෙස බියට පත් නොවන ලෙසත් දිල්ලි බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙනවා. 

කෙසේවෙතත් අදාල පුද්ගලයා දින කිහිපයකට ඉහතදී හිමාචල් ප්‍රදේශයෙහි පිහිටි සාදයකට සහභාගී වී ඇතැයි අනාවරණ වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බවයි දිල්ලි බලධාරීන් පැවසුවේ. ඉන්දියාවෙන් මීට පෙර මන්කිපොක්ස් ආසාදිතයින් 03 දෙනෙකු හමුවී තිබුණත් ඔවුන් විදෙස් සංචාරවල නිරතව සිට පැමිණි පුද්ගලයින්. එම ආසාදිතයින් තිදෙනාම හදුනාගෙන තිබුනේද කේරළයෙන්.

මේ අතර දිල්ලියේ බටහිර ප්‍රදේශයෙන් ද මන්කිපොක්ස් ආසාදිතයෙකු බවට සැකකෙරෙන තවත් රෝගියෙකු හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු ආසාදිතයෙකු දැයි තහවුරු කර ගැනීම සදහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි දිල්ලි බලධාරීන් පවසන්නේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අද ඉහළපෙලේ සාකච්ඡාවක් ද කැදවා තිබුණා. 

මේ අතර මීට පෙර මුම්බායි නගරයෙන් මන්කිපොක්ස් ආසාදිත බවට සැකකෙරෙන  පුද්ගලයින් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ සාම්පල සෑම සතියකදීම පරීක්ෂාවට ලක් කෙරෙනවා. එහෙත් මේවනවිට පරීක්ෂණ කටයුතු සදහා දිනකට සැකකටයුතු සාම්පල දෙකක් හෝ තුනක් මුම්බායි රසායනාගාර වෙත ලැබෙන ලැබෙන  බවයි වාර්තා වන්නේ.

රටතුල මන්කිපොක්ස් වෛරසය ව්‍යාප්ත වෙමින් ඇත්දැයි සෞඛ්‍ය අංශ දැඩිව විමසිල්ලෙන් පසුවන බවත් සැකකටයුතු සාම්පල පරීක්ෂා කිරීම සදහා මේවනවිටත් රසායනාගාර 16 ක් වෙන් කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

මේවනවිට ලොව රටවල් 75 කින් මන්කිපොක්ස් ආසාදිතයින් 16,000 කට අධික පිරිසක් හදුනාගෙන තිබෙනවා.