Monday, May 6, 2024

General line - 0115112241

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඉකුත් මැයි 09 වනදා නිට්ටඹුවේදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින්. 

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව හා රන්පොකුණගම ප්‍රදේශවලදීයි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැළඳ සිටි රන්මුදු 02 ක් ගලවා ගැනීම හා මීගහකිවුල ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ජංගම දුරකථනය කොල්ලකෑමට අදාළව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පහරදෙන අවස්ථාවේදී මන්ත්‍රීවරයා පැළඳ සිටි තවත් රන් මුදුවක් ගලවා ගැනීම සම්බන්ධයෙන් අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් විසින් මන්ත්‍රිවරයාගෙන් ගලවා ගන්නා ලද රන්මුදු 03 ම, උකස් මධ්‍යස්ථානයක උකස් තබා තිබියදී සොයා ගැනුණු බව ද පොලීසිය සඳහන් කළා. සැකකරුවන් දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.