Sunday, April 28, 2024

General line - 0115112241

ජනපති රනිල්ගේ ලිපියට අනුරගෙන් පිළිතුරු ලිපියක්




ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිතුරු ලිපියක් එවා තිබෙනවා. ඒ, ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යොමු කළ ලිපියට පිළිතුරු ලෙසයි. 

එහි දැක්වෙන්නේ හිටපු ජනාධිපතිවරයා රටින් පිටව යාමත් සමඟ කාටත් පිළිගත හැකි කාගේත් එකඟතාවයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට තිබූ අනගි අවස්ථාව මේ වන විට මගහැරී ඇති බවයි. දැන් පවතින්නේ ජනවරමද අහෝසි වූ, ජනතා විරෝධයටද ලක්වූ පාලනයක් බව ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක එවූ ලිපියේ සදහන්. 

මේ අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිලිබඳ කතා කිරීම තවදුරටත් යථාර්ථවාදී නොවන පල රහිත ප්‍රයත්නයක් බවයි ඔහු දක්වා ඇත්තේ. කෙසේ වෙතත් පවතින අර්බුදයෙන් මිදීම සඳහා පිළිගත හැකි යථාර්ථවාදී වැඩපිළිවෙළක් නිශ්චිත කාල රාමුවක්ද සහිතව ඉදිරිපත් කරන්නේ නම් ඊට සාධනීය ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවද අදාල ලිපියේ වැඩිදුරටත් සදහන්.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ලිපියක් යවමින් සඳහන් කර තිබුණේ ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.