Sunday, May 5, 2024

General line - 0115112241

නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍රයක් හදිසියේ බිඳ වැටෙයි

ජූඩ් සමන්ත




නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ හදිසි බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා. මේ වන විට තාක්ෂණික කාර්ය මණ්ඩලය එහි ඇතිවූ දෝෂය හඳුනා ගැනීමටකටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ. 

මේ අතර එම බලාගාරයේ පිහිටි 2 වන ජනන යන්ත්‍රයේ නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවත් 3 වන ජනන යන්ත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ වනවිට අක්‍රීය වී ඇති ඒකක දෙකෙහි ජනන යන්ත්‍ර මගින් උත්පාදනය කරන විදුලි ධාරිතාව මෙගාවොට් 600 ක්. ඒ අනුව නොරොච්චෝලේ බලාගාරයේ මේ වනවිට ක්‍රියාත්මක වන්නේ තුන්වන ඒකකය පමණයි. එබැවින් ඉන්ධන සැපයුම කළමණාකරණය කර ගැනිම සදහා ඉන්ධන බලාගාර භාවිත කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

නොරචෝලේ තාප විදුලි බලාගාරයෙන් මෙගා වොට් 900 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කිරීම සිදුවනවා. ඒ අනුව මේ වන විට නොරචෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කරන්නේ මෙගා වොට් 300 ක විදුලි ධාරිතාවක් පමණයි.

මේ අතර ලක්විජය තාප විදුලි බලාගාරයෙන් පිටවී ඇති ගල් අගුරු අළු විශාල ප්‍රමාණයක් තම වගා බිම් වලට පතිත වී ඇතැයි නොරචෝලේ සහ අවට ගොවීන් පවසනවා. ඊයේ රාත්‍රීයේ මෙම ගල් අගුරු අළු තම වගා බිම් වලට පතිත වී ඇති බවයි ඔවුන් පැවසුවේ.

නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයෙන් ගල් අගුරු අළු සහ ගල් අගුරු කුඩු පිටවී අවට ඇති වගා බිම් වලට පතිත වන බවට ඉකුත් කාලය පුරා ගොවීන් මැසිවිලි නැගුවා. ඒ අනුව බලාගාරයෙන් පිටවන ගල් අගුරු අළු සහ ගල් අගුරු කුඩු පිටතට යාම වැලැක්වීම සදහා සුළං බාධක යෙදීමටයි බලධාරීන් පසුව කටයුතු කළේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බලධාරීන්ගෙන් විමසීමක් කළා. ඔවුන් පැවසුවේ ඊයේ රාත්‍රියේ ජනන යන්ත්‍රය අක්‍රීයවීමට පෙර ඊට සවි කර තිබූ ගල් අගුරු අළු පිටතට නොයාම සදහා වන උපකරණය ද ක්‍රියා විරහිත වී ඇති බවයි. එම අවස්ථාවේදී ගල් අගුරු අළු පිටතට යන්නට ඇති බවට විශ්වාස කරන බවද නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බලධාරීන් පැවසුවා.